නියමිත වැටුප් වැඩිවීම ප්‍රමාදයි – ජල සේවකයෝ සටනට බසිති

නියමිත වැටුප් වැඩිවීම ප්‍රමාදයි – ජල සේවකයෝ සටනට බසිති

මේ වසරට නියමිත වැටුප් වැඩිවීම කඩනමින් සිදු නොකළහොත් පෙබරවාරි මුල් සතියේ සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණය වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කරයි.

එහි මුල් පියවර ලෙස පෙබරවාරි දෙවනදා බස්නාහිර පළාතේ සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයන් පෙරවරු  9.00 සිට පැය 04ක කාලයක් විරෝධතාවයේ නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය. තවද පෙබරවාරි 07 වන දින දිවයින පුරා සියලු වැඩබිම් සහ කාර්යාලවල පෙරවරු 9.00 සිට පැය 4ක විරෝධතාවක් සිදුකරන බවද ඒ මහතා සදහන් කළේය.

මෙහිදී මනුසටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම,  බිල්පත් ගෙවීම් කටයුතු, බිඳවැටුම් අලුත් වැඩියාවන්, පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සහ වෙනත් නඩත්තු කටයුතු සිදුනොවන බවද ඔහු කියා සිටියේය.

තම ගැටලූවට පාලකයින් පිළිගත හැකි විසඳුමක් ලබා නොදෙන්නේ නම් පෙබරවාරි 07 වන දිනෙන් පසු දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටද ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇත.

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වසර තුනකට වරක් අනිවාර්යයෙන් සිදු කළ යුතු වැටුප් වැඩිකිරීම මාස 06කට වැඩි කාලයක සිට සිදු නොවූ බවත් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග හේතුවෙන්  ජනතාව අපහසුතාවට පත්වන්නේ නම් එහි වගකීම රජය භාර ගත යුතු බවද උපාලි රත්නායක මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්