සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල වරම් ලබාදෙනු! – ssu

 

පසුගිය වර තේරුණ සිසුන්ටත් මෙවර තේරුණු සිසුන්ටත් යන සියලූ දෙනාට විශ්වවිද්‍යාල වරම් ලබාදෙන ලෙසත් තවදුරටත් සිසුන් අපහසුතාවයට පත් නොකරන ලෙසත් ආණ්ඩුවට බල කරන බව දන්වමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය පහත පළවේ.

‘‘ඊයේ (22) දින නැවත නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල අනුව විභාගයට මුහුණ දුන් සිසුහු යළිත් විශාල නොසන්සුන්තාවයකට පත්ව සිටිති. විශේෂයෙන් දෙවන හා තුන්වන වර විභාගයට පෙනීසිටි සිසුන්ගේ දිස්ත්‍රික් හා දිවයින් කුසලතා “විශ්වාස කළ නොහැකි ලෙස“ පහළට වැටී ඇත. පළමුව නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට තේරුණු සිසුන් බොහෝමයකට නව ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් අහිමිව ඇත. එසේම ඉහළ ප්‍රතිඵල මත “වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, නීති“ වැනි පීඨවලට තේරුණු සිසුන් අපේක‍ෂා නොකළ පරිදි පහළටම වැටී ඇත. මෙසේ දිස්ත්‍රික් හා දිවයින් කුසලතා වෙනස් වී ඇත්තේ සුළු ගණනකින් නොව ස්ථාන සිය ගණනකිනි.

මෙසේ තමන් තේරී තිබූ පීඨය හෝ විශ්වවිද්‍යාල වරම් සම්පූර්ණ අහිමි වූ සිසුන්ට අගෝස්තු 6 දා ආරම්භ වන විභාගයට සූදානම්වීමට කාලයක් පවා නොමැත. උසස් පෙළ විභාගයට ඇත්තේ තවත් සති දෙකක් පමණි. එසේම බොහෝ සිසුන් තමන් විශ්වවිද්‍යාලයට නිසැකවම තේරී පත්වනු ඇතැයි යන අපේක‍ෂාවෙන් නැවත විභාගයට පෙනී සිටීමට ඉල්ලූම්කර පවා නොමැත. නව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු, ඇරඹීමට නියමිත උසස් පෙළ විභාගයට ඉල්ලූම් කිරීමට ජූලි 23-27 දක්වා කාලය සිසුන්ට අවස්ථාව ලබාදී ඇතත් එසේ ගහෙන් ගෙඩි එන්නා සේ විභාගයක් ක‍ෂණිකව ඉල්ලූම් කළ පමණින් විභාගයට මුහුණදිය නොහැක. අධ්‍යාපන අමාත්‍යවරු සිතාගෙන සිටින පරිදි විභාගයකට මුහුණදීම යනු මල්ලක් රැගෙන සිතූ සිතූ වෙලාවට කඩේ යාම වැනි ලෙහෙසිපහසු කටයුත්තක් නොවේ.

මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධ අවුලට වගකිව යුත්තේ ආණ්ඩුවයි. ප්‍රතිඵල ක‍ෂණිකව විශ්වාස කළ නොහැකි පරිදි වෙනස්වීමෙන් අපේක‍ෂාභංගත්වයට පත් සිසු සිසුවියන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර සියදිවි නසාගැනීමට පවා ඉඩකඩ ඇත. මෙම තරුණ සිසු ජීවිතවල වගකීම ආණ්ඩුව භාරගත යුතුය.

මෙම අවුල තාවකාලිකව හෝ විසඳීමට ඇත්තේ එක් විසඳීමක් පමණි. එනම් ගියවර විශ්වවිද්‍යාලවලට තේරුණු සිසුන් අදාළ පීඨවලට බඳවාගත යුතුය. නිදසුනක් ලෙස ගියවර වෛද්‍ය පීඨ සඳහා තේරීපත්වී  එහෙත් නව ප්‍රතිඵල මත කුසලතාවය පහළට වැටී ඇත්නම් එය නොසලකා ඔහු හෝ ඇය වෛද්‍ය පීඨයට බඳවා ගත යුතුය. එසේම මෙවර ප්‍රතිඵල වෙනස් වීමෙන් කුසලතාවය ඉහළයාම නිසා ඉහළ පීඨවලට තේරුණු සිසුන්ද එම නව පීඨවලට බඳවා ගත යුතුය. එනම් සමස්තයක් ලෙස පැරණි සහ අලූත් ලේඛන දෙකෙහිම තේරී සිටින සියලූම දෙනා විශ්වවිද්‍යාලවලට බඳවා ගත යුතුය. මෙම ගැටලූවලට අවම හෝ සාධාරණයක් සිසුන්ට ලබාදිය හැක්කේ එම විසඳුම මගින් පමණි.

එනිසා තවදුරටත් උසස් පෙළ ප්‍රතිඵල අවුල ව්‍යාකූල නොකර සිසුන්ගෙන් පළිගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකර, විශ්වවිද්‍යාලවලට තේරුණු සියලූම සිසුන් අදාළ පීඨවලට බඳවා ගන්නා ලෙසට සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.‘‘

එසේම ‘‘අසාධාරණයට ලක්වු සැමට සාධාරණය ඉටුකර ගැනීම සඳහා ඒ වෙනුවෙන් අරගල කරන අපහට එය දැනුම්දීම සඳහා පහත සඳහන් දුරකථන අංකයට අමතන ලෙසද දන්වා දිටිමි.‘‘


0718100605

නලින්ද ජයතිස්ස

ජාතිත සංවිධායක.

 

Facebook
Twitter
LinkedIn