08වෙනිදා විශ්වාසභංගට පක්ෂයි – රාජපක්‍ෂ පාලනයත් සුදු නැහැ

“මේ හැම දේකින්ම පෙන්වන්නේ මේ ආණ්ඩුවේ බැරිකමයි. ඒ මදිවට පුවත්පත් දැන්වීම් දාලා ආණ්ඩුවේ බැරිකම විකුණනවා. පහුගිය ආණ්ඩුවට වැරැද්ද පටවලා ඇඟ බේරා ගන්න හදනවා. මේ අර්බුදයට මුදල් ඇමතිවරයා පමණක් නෙවෙයි, සමස්ත ආණ්ඩුවම වගකිව යුතුයි. එනිසා මේ ගෙන එන විශ්වාසභංග යෝජනාව රවී කරුණානායක මුදල් ඇමතිවරයාට පමණක් නෙවෙයි සමස්ත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් බවට පත්වෙනවා. මේ විශ්වාස භංග යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙන කරුණුවලට අමතරව තවත් කරුණු මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් විය යුතුයි. මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන ඇතැම් කරුණුවලින් මහින්ද රාජපක්‍ෂ පාලනය සුද්ද කරන්න උත්සාහ කර තිබෙනවා. මේ යෝජනාවේ තිබෙන සියලුම කරුණුවලට එකඟ නොවුණත් අපි මේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරනවා. මුදල් අමාත්‍යවරයාට එරෙහිව පමණක් නොව සමස්ත ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව තමයි අපි අපේ ඡන්දය පාවිච්චි කරන්නේ. අපේ රටේ ආර්ථිකය දිනෙන් දින බිඳවැට්ටීමට එරෙහිව තමයි අපි ඡන්දය පාවිච්චි කරන්නේ.”  යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (06) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වන විජිත හේරත් මහතා…

“සාලාව හමුදා කඳවුරේ ආයුද ගබඩාවේ සිදුවූ හදිසි පිපිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ යුතුව තිබෙනවා. මෙවැනි ජනාකීර්ණ ස්ථානයකට හමුදාවේ ආයුද ගබඩාවක් තිබීම ගැටලු සහගතයි. සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව තුනී ලෑලි කර්මාන්ත ශාලා දෙකක් ඉදිකළා. ඉන් එකක් කොස්ගම තුනී ලෑලි සංස්ථාවයි. එය ඉදිකිරීම සඳහා සෝවියට් දේශය තිබෙන කාලයේ රුමේනියාවෙන් ආධාර කළා. පසුව සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට නම්කළ පසුව සිංහරාජයෙන් ගස් කැපීම නතර කළා. ඉන් පසුව තුනී ලෑලි සංස්ථාව නිෂ්පාදනය නතර කළා. ඉන් පසුව 1994දී එම ස්ථානයේ යුද හමුදා කඳවුරක් ඉදි කරන්න එවකට ආණ්ඩුව තීරණයක් ගත්තා. ඒ මොහොතේ විවිධ පිරිස් විසින් ආණ්ඩුවට දැනුම් දුන්නා එම ස්ථානය ජනාකීර්ණ නිසා යුද හමුදා කඳවුරකට නුසුදුසුයි කියලා. ඒ මොහොතේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණු ඉන්දික ගුණවර්ධන මහතාටත් ජනතාව විසින් පෙත්සම් ඉදිරිපත් කළා. එම විරෝධතාවයන් තිබියදී ආණ්ඩුව යුද හමුදා කඳවුරක් ඉදිකළා. ඊටත් වඩා බරපතළ දේ වුණේ එම ස්ථානයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමයි. පතරොම්, මෝටාර් ඇතුළු බරපතළ අවි එහි ගබඩා කර තිබුණා. පනාගොඩ යුද හමුදා කඳවුරේ තිබුණු ආයුධත් එම ස්ථානයට රැගෙන ගිය බව වාර්තා වුණා.

දිගින් දිගටම ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතාවයන් ආවත් පැවති හා පවතින ආණ්ඩු මේ අවි ගබඩාව පවත්වාගෙන ගියා. මෙම අවි ගබඩාව පිටුපස නයිගල ආබාධිත රණවිරු ගම්මානය තිබෙනවා. ඒ වගේම සාලාව රජයේ රෝහල තිබෙන්නේත් මේ අසලයි. ඒ වගේම ජනතාව ජීවත් වන නිවාස ගණනාවක් ඒ ආසන්නයේ තිබෙනවා. හයිලෙවල් මාර්ගයත් ඒ අසලින්ම යනවා. එවැනි ජනාකීර්ණ ප‍්‍රදේශයක තමයි මෙම ආයුද ගබඩා කරලා තිබෙන්නේ. එය සුදුසු දෙයක් නෙවෙයි. ආණඩුව මෙය අත්දැකීමක් කරගත යුතුයි. පසුගිය මාසයක් දෙක තුනක කාලය තුළ ප‍්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිවුණා. ප‍්‍රභූන්ට හමුදා ආරක්‍ෂාව ලබාදීම, කෝටි ගණන් වියදම් කර ප‍්‍රභූ ආරක්‍ෂක වාහන ගෙන්වීම,  ප‍්‍රධාන මාතෘකා බවට පත්වුණා. ප‍්‍රභූන් ගැන මේ තරමට කතා කරන පිරිස් සාමාන්‍ය ජනතාවගේ ආරක්‍ෂාව ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ ආරක්‍ෂාව ඉතාම වැදගත්. අපි දැක්කා පුංචි දරුවන්, බඩදරු අම්මලා, වයස සීයලා ආච්චිලා, උන්හිටි තැන් අහිමි වෙලා ජීවිත බේරාගන්න සීසීකඩ දිව්වා. ඔවුන් විශාල කම්පනයකට ලක්වෙලා හිටියා. කිරිඳිවැල, පූගොඩ, මණ්ඩාවල, ජනතාවගේ නිවාස පවා පිපිරීම නිසා කම්පනයට ලක්ව තිබෙනවා. බොහෝ ජනතාවක් භීතියට පත්වුණා. එම නිසා මෙවැනි අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මීට වඩා ආණ්ඩුව අවධානය යොමුකළ යුතුව තිබෙනවා.

දැන් සිදුවීම සිදුවෙලා අවසන්. මේ සම්බන්ධයෙන් කඩිනම් විශේෂ පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. ඒවගේම හානියට පත් ජීවිත, ප‍්‍රදේශවාසීන්ගේ නිවාස, වාහන ඇතුළු පෞද්ගලික දේපල, විශාල ලෙස හානිවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදීම සම්බන්ධයෙන් මැදිහත් විය යුතුයි.”

මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්

“08වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත මුදල් ඇමතිවරයා කෙරෙහි විශ්වාසභංග යෝජනාව රාජපක්‍ෂ පාලනයේ කොටස්කාරයින් විසින් ගෙනෙන එකක්. 2005 රාජපක්‍ෂ පාලනය රට භාරගන්න විට තිබුණු ණය ප‍්‍රමාණය රුපියල් කෝටි දෙලක්‍ෂ විසි දෙදාහක් වුණා. අවුරුදු 7-8ක් යනවිට මේ ආණ්ඩුව වැඩිම ප‍්‍රමාණයක් ණය ගත්තු ආණ්ඩුව බවට පත්වුණා. ආණ්ඩුව පමණක් නොවෙයි, රජයේ ආයතන පවා පාවිච්චි කරලා ආණ්ඩුව ණය ගත්තා. එහෙම ණය අරගෙන දළ ජාතික නිෂ්පාදනයෙන් 105%ක් වූ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය 75%ක් දක්වා අඩු කරලා පෙන්වන්න සංඛ්‍යා ලේඛන විකෘති කළා. එහෙම කළේ එයාර් ලංකා, පෙට්‍රෝලියම්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතන පාවිච්චි කරලා වක‍්‍රකාරයෙන් ආණ්ඩුව ණය අරගෙනයි. ඒ වගේ කපටි වැඩ කරලා රාජපක්‍ෂ ආණ්ඩුව ණය ප‍්‍රමාණය අඩු කරලා පෙන්නුවා. ඒ විතරක් නෙවෙයි, ගිණි පොලියට ණය වෙළඳපොළෙන් ණය ගත්තා. විශාල ණය උගුලක රට හිරකළා. රුපියල් කෝටි 222,000ක්ව තිබූ රාජ්‍ය ණය ප‍්‍රමාණය රාජපක්‍ෂ පාලනය විසින් රුපියල් කෝටි 750,000 දක්වා වැඩි කළා.

2015න් පස්සේ රට බාරගත්තේ හවුල් ආණ්ඩුවයි. මේ ආණ්ඩුව කිව්වා පහුගිය ආණ්ඩුව ගත්ත ණය ප‍්‍රමාණය රු. කෝටි දශ ලක්‍ෂයකට ආසන්න වෙනවා කියලා. ඒ නිසා අපේ රට ණය උගුලක හිර කළේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බව ඉතාම පැහැදිලියි. ඒ වගේම ඒ ආණ්ඩුව ජාතිය ගොඩනැගීමේ බද්ද හඳුන්වලා දුන්නා. වැට් බද්ද හඳුන්වලා දුන්නේ 2001දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව. මේ දෙගොල්ලම ජනතාවට බදු පිට බදු ගැහුවා. රාජපක්‍ෂ ආණ්ඩුව ගත්තු ණය තමන්ගේ පවුල් පාලනය නඩත්තු කරන්න පාවිච්චි කළා .ඒ වගේම ඒ ආණ්ඩුවේ වංචාව-දූෂණය ඉහ වහා ගියා. අපේ රට ආර්ථික අර්බුදයක ගිල්ලුවේ මහින්ද රාජපක්‍ෂ පාලනයයි. ඒ ආණ්ඩුවේ හිටපු අය තමයි මේ විශ්වාසභංග යෝජනාවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්.

රාජපක්‍ෂ ආණ්ඩුව කරපු එම විනාශය නතර කරන්න තමයි හවුල් ආණ්ඩුව බලයට ආවේ. මේ ආණ්ඩුවත් ජනතාවට විශාල පොරොන්දු ප‍්‍රමාණයක් දුන්නා. බයිසිකලේ යන තරුණයන්ට කාර් අරන් දෙනවා කිව්වා. එහෙම කියපු ආණ්ඩුව දුප්පත්ම මිනිහාගේ ත්‍රීවීල් එකත් රුපියල් ලක්‍ෂ 9-10ක් දක්වා වැඩි කළා. මේ ආණ්ඩුව බදු ගහනවා විතරක් නෙවෙයි 2015 අවසන් වනකොට ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාගෙන තිබෙනවා. ණය බරට එරෙහිව සටනක් තියෙනවා කියලා මේ ආණ්ඩුව තවත් ලක්‍ෂ ගණන් වියදම් කරමින් පුවත්පත් දැන්වීම් දානවා. මේ වනවිට මේ ආණ්ඩුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2ක්, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.1ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක් වශයෙන් ඩොලර් බිලියන 4.6ක ණය ප‍්‍රමාණයක් ගන්න යනවා. අපේ රට තව තවත් දැවැන්ත ණය උගුලක හිර කරනවා.

ආණ්ඩුව කියලා තිබුණා පහුගිය කාලයේ ගත්ත ණය වාරික ගෙවන්න පමණක් මේ වසරේ රුපියල් බිලියන 100ක් අවශ්‍යයි කියලා. 2015 අවසන් වන විට රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 8503ක් බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. 2014  ණය ප‍්‍රමාණය වූයේ රුපියල් බිලියන 7390යි. ඒ කියන්නේ මේ ආණ්ඩුව 2015 වසරේදී පමණක් රුපියල් බිලියන 1113ක් ණය අරගෙන තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදය, ණය උගුල රාජපක්‍ෂ පාලනයට හිලව් කරන්න බැහැ. රාජපක්‍ෂ ආණ්ඩුවත් රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවත් මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි. මෙවැනි අමාරුකමක් තිබෙද්දී තමයි ප‍්‍රභූ ආරක්‍ෂක වාහන ගෙන්වන්න කෝටි 60ක් වෙන් කරන්නේත්. අමාත්‍යාංශ ගොඩනැගිලි අලුත්වැඩියා කරන්න රු. ලක්‍ෂ 600-700 වෙන් කරන්නේත්. එහෙම කරන ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන රු. 2000න් රු. 100ක් කපාගන්නේ. මේ හැම දේකින්ම පෙන්වන්නේ මේ ආණ්ඩුවේ බැරිකමයි. ඒ මදිවට පුවත්පත් දැන්වීම් දාලා ආණ්ඩුවේ බැරිකම විකුණනවා. පහුගිය ආණ්ඩුවට වැරැද්ද පටවලා ඇඟ බේරා ගන්න හදනවා. මේ අර්බුදයට මුදල් ඇමතිවරයා පමණක් නෙවෙයි, සමස්ත ආණ්ඩුවම වගකිව යුතුයි. එනිසා මේ ගෙන එන විශ්වාසභංග යෝජනාව රවී කරුණානායක මුදල් ඇමතිවරයාට පමණක් නෙවෙයි සමස්ත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් බවට පත්වෙනවා. මේ විශ්වාස භංග යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙන කරුණුවලට අමතරව තවත් කරුණු මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් විය යුතුයි.

මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන ඇතැම් කරුණුවලින් මහින්ද රාජපක්‍ෂ පාලනය සුද්ද කරන්න උත්සාහ කර තිබෙනවා. මේ යෝජනාවේ තිබෙන සියලුම කරුණුවලට එකඟ නොවුණත් අපි මේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරනවා. මුදල් අමාත්‍යවරයාට එරෙහිව පමණක් නොව සමස්ත ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව තමයි අපි අපේ ඡන්දය පාවිච්චි කරන්නේ. අපේ රටේ ආර්ථිකය දිනෙන් දින බිඳවැට්ටීමට එරෙහිව තමයි අපි ඡන්දය පාවිච්චි කරන්නේ.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“විශ්වාභංගය පරාජය වුණොත් ඇමතිවරයාට ඉල්ලා අස්වෙන්න සිදුවෙනවා. ඒ කියන්නේ එය සමස්ත ආණ්ඩුවේ පැවැත්මට විශාල බලපෑමක් සිදුවෙනවා. විශ්වාසභංගය දිනනවා හෝ පරාජය වෙනවා කියන එක පැත්තකින් තිබ්බත් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙනවා කියන්නේම ඒ ආණ්ඩුවේ කල් ක්‍රියාව වැරදියි කියන එකයි. 

අපි කිසිම මොහොතකදී ආණ්ඩුව ජනතාවට එරෙහිව ගන්නා ක්‍රීයාමාර්ගවලදී නිහඬව සිටියේ නැහැ. මහ බැංකු අධිපතිවරයා තමන්ගේ ඥාතියෙකුට භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරපු වෙලාවේ ප‍්‍රථම මාධ්‍ය හමුව පවත්වලා එයට විරෝධය පළ කළේ අපේ පක්‍ෂයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයායි. ඉන් නොනැවතී මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ අපේ පක්‍ෂයයි. ඒ වගේම මේ ආණ්ඩුවේ වංචා-දූෂණවලට ක්‍රියාමාර්ග ගන්නේ නැති සෑම මොහොතකම අපි අපේ විරුද්ධත්වය ප‍්‍රකාශ කළා. ඒ වගේම මේ ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කරන වෙලාවේ, පාසැල් නිල ඇඳුම් කප්පාදුවේ, ශිෂ්‍යයන්ට ලබා දෙනවා කිව්ව මහපොළ ශිෂ්‍යාධාර නොදෙන වෙලාවේ ආණ්ඩුවට එරෙහිව සටන් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ගොවි ජනතාව අමුඩ ගහගෙන කොළඹට ඇවිත් උද්ඝෝෂණය කළේ අපේ ගොවි සංගමයේ නායකත්වයෙන්. රාජ්‍ය සේවකයින්ට රු. 10,000ක වැටුප් වැඩිවීම ලබාගත්තේ අපේ වෘත්තීය සමිති පෝස්ටර් ගහලා උද්ඝෝෂණය කරලා. ඒ වගේම මේ ආණ්ඩුව ජනතාව බදු බරක, ණය උගුලක හිර කරන වෙලාවේ පාරට බැස්සා. ඒ නිසා මේ සියලු අරගලවලදී සටන් කළේත් ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වගේම ඉදිරියේදීත් ආණ්ඩුව ගන්නා ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි සටන් කරනවා.”

Facebook
Twitter
LinkedIn