ඉතිරි කාලය තුළ අපේ රට ලෝකයේ ශක්තිමත්ම රාජ්‍යක් බවට ගොඩනැගීමේ දිසාවට ගෙන යන බව තහවුරු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක

ඉතිරි කාලය තුළ අපේ රට ලෝකයේ ශක්තිමත්ම රාජ්‍යක් බවට ගොඩනැගීමේ දිසාවට ගෙන යන බව තහවුරු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක

“අපේ ආණ්ඩුව බලයට පත්වී ගත වුණේ අවුරුදු දෙකයි. තව අවුරුදු තුනක් තිබෙනවා. ඒ ඉතිරි කාලය තුළ අපේ රට ලෝකයේ ශක්තිමත්ම රාජ්‍යයක් බවට ගොඩනැගීමේ දිසාවට ගෙන යන බවට තහවුරු කර තිබෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ සුගිය 11 වනදා ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිකවැරටියේදී පැවති, “අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” ජන රැලිය අමතිමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක,

“ඔබේ අපේ අනාගතය විනාශ කළ උදවිය පෝලිමේ හිරේ යන හැටි අපි කවුරුත් දකිනවා. රට බංකොලොත් කර, ගෙන ගිය විනාශයෙන් රට බේරා ගැනීමේ මහා මෙහෙයුමට මැදිහත් වුණේ පුංචි අපි හැමෝමයි. සාර් පාලනයෙන්, රුසියානු ජනතාව බේරා ගත්තේ වී.අයි ලෙනින් කියන පුංචි මිනිසා. චීනයේ මා ඕ සේතුං ප්‍රමුඛ පුංචි මිනිසුන් කළ විප්ලවයේ ප්‍රතිඵල අද ලෝකය ඉදිරියේ තහවුරු වෙමින් තිබෙනවා. එදා අධිරාජ්‍යවාදීන්ගෙන් වියට්නාමය බේරා ගත්තේ හෝචිමිං කියන ශරීරයෙන් පුංචි මිනිසා.

අදටත් ඇමෙරිකාවට එරෙහිව සිටින කියුබාව ගොඩනැගුවේ ඒ රටේ පුංචි මිනිසුන් එකතු වීමෙන්. අද මෙතනට රැස්වී ඉන්නේ අපේ රට බේරා ගත් පුංචි මිනිසුන්ගෙන් සැදුණු මහා ජනතාව.

අපේ ආණ්ඩුව බලයට පත්වී ගත වුණේ අවුරුදු දෙකයි. තව අවුරුදු තුනක් තිබෙනවා. ඒ ඉතිරි කාලය තුළ අපේ රට ලෝකයේ ශක්තිමත්ම රාජ්‍යයක් බවට ගොඩනැගීමේ දිසාවට ගෙන යන බවට තහවුරු කර තිබෙනවා.

අද දිනය වන්නි හත්පත්තුවට යෝධ ශක්තියක් වී තිබෙන බව, මේ ජනතාව  තහවුරු කරනවා.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික – නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති – නිලන්ත බණ්ඩාර

ජාතිවාදයෙන් තොර රටක් ගොඩනැගීමේ ආරම්භක දිනය 2024 සැප්තැම්බර් 21 වැනිදා, බව ඉතිහාසයට එක් වෙනවා. ඒ වගේම සියලුම ශ්‍රී ලාංකික ජනතාව අත්වැල් බැඳගෙන හුස්ම පටන් ගත්ත දිනය තමයි අපේ ජනාධිපතිවරයා පත් කර ගත් දිනය. ශ්‍රී ලාංකික තරුණයන්ගේ මරා දැමූ හීනවලට යළි පණ දුන් දිනය තමයි, ඒ දිනය. ගෙවී ගිය වසර දෙක පුරාම ජයග්‍රහණය තහවුරු කරමින් රට ගොඩගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යමින් සමාජය පරිවර්තනය කිරීමේ යුගය ශක්තිමත්ව ගෙන යා යුතු වෙනවා. අද දිනය වන්නි හත්පත්තුවට යෝධ ශක්තියක් වී තිබෙන බව මේ ජනතාව තහවුරු කරනවා. නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ පොළ භූමිය මහා ජන ගඟකින් පිරී යාම අපි හැමෝගේම ජයග්‍රහණයක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ හා සමානම තවත් ජන රැලියක් ගොකරැල්ලේදී පවත්වනවා. ජනතාවාදී ආණ්ඩුවේ ජයග්‍රාහී ඉලක්ක කරා ශක්තිමත්ව ගමන් කරන බව මේ ජනතාව තහවුරු කර තිබෙනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්