තම අරමුණ වන්නේ ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පෙර පැවති තත්වයට වඩා උසස් ජීවන තත්වයක් අත්කර දීම බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ ශක්තිමත් වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, එම ජනතාවට 2048 වන තුරු බලා සිටින ලෙස පැවසීමට තමා කටයුතු නොකරන බවත් ජනාධිපති අනුර දිසානායක පැවසීය.
ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බවත් පැවසීය.
ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (09) පස්වරුවේ කොබෙයිගනේ, විතිකුලිය ප්‍රදේශයේ එක් වෙමිනි.
ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක PROJECT 5M වැඩසටහන යටතේ නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර, කොටවෙහෙර, පන්නල, බිංගිරිය, මහව, වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා තත්වයෙන් පූර්ණ නිවාස හානි සිදු වූ, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ව සහතිකය ලද නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කිරීම සහ වන්දි ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.
ආපදාවෙන් පසු යළි නැගීසිටීමට විශාල කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද, මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයකින් රට සහ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට රජය සමත් වී තිබෙන බවත්, එහිදි වෙහෙස නොබලා ධෛර්යයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලුදෙනා වෙත තම ප්‍රණාමය පුද කරන බවත් ජනාධිපති මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම, ඉදිරියේදී ඕනෑම ව්‍යසනයකට මුහුණ දිය හැකි අන්දමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්ව වැඩකරමු’යිද ජනාධිපති සියලුදෙනාට ආරාධනා කළේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

















