පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට…

පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට…

පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කර ගනිමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම සහ ශක්තිමත් කිරීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of General Practitioners of Sri Lanka – CGPS) නිලධාරින් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේ දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා පිළිබඳවත්, පිළිගත් සෞඛ්‍ය සේවා පද්ධති සමඟ විදෙස් රටවල ප්‍රාථමික සත්කාර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති දැනුවත් කිරීමට ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ නිලධාරීන් පියවර ගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සත්කාර වැඩිදියුණු කිරීම සඳහා යෝජනා කිහිපයක්ද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමද සිදු විය.

එම යෝජනා ලෙස ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාවක් සඳහා සෑම පුරවැසියෙකුටම ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තාවක් ලබාදීම සහ සේවා ඩිජිටල් කරණය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හි පුහුණුව ලත් වෛද්‍යවරුන් සෞඛ්‍ය මධ්‍යස්ථාන කළමනාකරණය කරන පූර්ණ කාලීන පවුල් වෛද්‍යවරුන් බවට පත් කිරීමේ හැකියාව සහ එහි ඇති වාසිදායක තත්වයන්, ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති සාමාන්‍ය ප්‍රතිකාර / පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණු වැඩසටහන (MCGP) හරහා තවත් වෛද්‍යවරුන් පුහුණු කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට (MOH) හට සහාය විය හැකිද යන යෝජනා ඉදිරිපත් කරන ලදි.

එමෙන්ම සෞඛ්‍ය සේවා තුළ ප්‍රාථමික සත්කාර ලබාදීම, පවුලේ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය හා කාර්යයන්, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සපයන අංශ, සත්කාර සේවාවන් හිදී උද්ගතව තිබෙන සහ අත්විදින ලද ගැටළු සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී  දීර්ඝව කරුණු සාකච්ඡා සිදු කරන ලදි.

පවුලේ වෛද්‍යවරයා යනු පවුලේ සාමාජිකයන් හොඳින් හඳුනන, මෙරට ප්‍රජාවන් හොඳින්ම තේරුම් ගන්නා සහ රෝගවලට එරෙහිව පළමු ආරක්ෂක රේඛාව වන බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති සෞඛ්‍ය ප්‍රවර්ධනයේ පෙරමුණ ලෙස ක්‍රියා කරමින් රෝග විනිශ්චය කිරීම, උපදෙස් දීම, සත්කාර සම්බන්ධීකරණය කිරීම ආදී කටයුතුද ඔවුන් ඉහළින්ම සිදු කරන බවද අවධාරණය කරන ලදි.

සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියේ දී පවුලේ වෛද්‍යවරුන් තබන මුලපිරීම් සඳහා අඛණ්ඩව සහාය දැක්වීමටත්, අදහස්, නවෝත්පාදන සහ උපදේශනය තුළ දිරිමත් කිරීමටත් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශක්තිමත් ප්‍රාථමික සත්කාර සේවා තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහි කළ හැකි බවද අවධාරණය කරන ලදි.

ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (CGPSL) යනු පවුල් වෛද්‍යවරුන්ගේ ඉහළම, වෘත්තීය, අධ්‍යයන ආයතනය වන අතර එය 1969 දී ආරම්භ කරන ලදි. 1974 දී පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාගත කරන ලද මෙම විද්‍යාලය, සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව / පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ ජාතික අධිකාරිය වේ. CGPSL හි මෙහෙවර වන්නේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිගත් අධ්‍යයන විෂයයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ මෙරට ප්‍රජාවන්ට ලබා දෙන ප්‍රාථමික සත්කාරයේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීමයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය පුෂ්පා වීරසිංහ, උප සභාපති වෛද්‍ය චන්දන අතපත්තු, ලේකම් වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර ඇතුළු ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ නිලධාරීන්ද එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn