දේශබන්දු තෙන්නකෝන්, ටිරාන් අලස් ඇතුළු පිරිසකට මත්ද්‍රව්‍ය පාතාලයෙන් මරණීය තර්ජන ඇති බවට පසුගිය කාලයේ ගෙන ගිය ප්‍රචාරවල මූලික පදනම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් ක්‍රමන්ත්‍රණකාරී ලෙස නිර්මාණය කරන ලද්දක් දැයි ප්‍රබල සැකයක් මතු වී තිබේ.
රටින් පළා ගොස් සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් දුරකතනය මාර්ගයෙන් තර්ජනය එල්ල කළ පුද්ගලයා මෑත කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන ඇත. ඔහු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හෙළි කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් සහ ටිරාන් අලස් යන දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් ට දුරකතන ඇමතුම් ලබා දුන්නේ තමන් බව ය.
ප්‍රියන්ත ජයකොඩි විසින් ඔහුට ලබා දුන් උපදෙස් අනුව එම තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් බවත්, ඒ බව සනාථ කිරීම සඳහා ජංගම දුරකතන කෙටි පණිවිඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.










