රැඩිකල් විප්ලවවාදී කවියෙකු වූ චන්ද්‍රකුමාර වික්‍රමරත්න සම්බන්ධයෙන් බොහෝ දුරට පිළිගත හැකි කරුණු අඩංගු සටහනක් ගාමිණී වසන්ත වැන්ඩකෝන් විසින් ෆේස්බුක් අඩවියේ තබා තිබිණි.
චන්ද්‍රකුමාර වික්‍රමරත්න අන්ත දරිද්‍රතාවෙන් පෙළුණු පවුලක ඉපදී ජේආර් ජයවර්ධන දියත් කළ රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව කවිය අවියක් කර ගනිමින් සටන් කළේය. ඔහු පිළිබඳව ආවර්ජනය කිරීම කාලීන වැදගත්කමකින් යුක්ත බැවින් එම සටහන උපුටා ගෙන පහතින් පළ කරන්නෙමු.
චන්ද්‍රකුමාර වික්‍රමරත්න
පවතින ක්‍රමය යටතේ කාණු පතුලෙන් මුතු ඇටයක් සේ දිස් වූ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ලියුම්කරුට හඳුනා ගන්නට හැකි වූයේ 1984 මුල් භාගයේ දී ය. ඒ නන්දතිලක ගලප්පත්තිගේ අදිසි නායකත්වයෙන් පැවති නිර්මාණ සංවාද කුලකයේ හමුවක දී ය. එකල චන්ද්‍රකුමාරගේ ගමේ යාළුවා වූ අම්බලන්ගොඩ ස්වර්ණවාහිනී වර්තමාන වාර්තාකරු අනුරාධ ප්‍රියදර්ශන ද සිටි බව මතකය. කොළඹ පැමිණි විට චන්ද්‍රකුමාර නැවතී සිටියේ නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ඥාති සොහොයුරියකගේ නිවසක ය.
චන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ දෙවන කැරැල්ලේ දී කවිය අවියක් කොට ගත් ජවිපෙ පූර්ණ කාලීනයෙකි. භූගත සටන් කරුවෙකු ද වූ ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 සිට 89 දක්වා ප්‍රකාශයට පත් කළ පත්තර පහෙන් දෙකක සංස්කාරක ය. වෙඩි හඬ සහ මානව සන්දේශය එම පුවත්පත් දෙක වේ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නිල පුවත්පත වූ වෙඩි හඬ කලෙක සතිපතා නිකුත් විය. එය රෝනියෝ ඕෆ්සෙට් මුද්‍රණයකි. සියලු ඝාතනවල වගකීම් ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝග ද සටන් කරුවන් සමඟ නිර්නාමික සාකච්ඡා ද එහි විය. මානව සන්දේශය පුවත්පත මාසිකව නිකුත් වූ අතර එය ජවිපෙ දෙවන කැරැල්ලේ අරමුණු සාමාන්‍ය ජනතාවට සිත් ගන්නා අයුරින් පල කරන ලදී.
කලක් පැවිදි වී සිටි චන්ද්‍රකුමාර වික්‍රමරත්න අම්බලන්ගොඩ උපන් අතර ඔහු දිවයින පුවත්පතට සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කරන ලද 8වැනි පිටුවෙන් දහස් ගණන් පාඨකයා දැන හැඳින ගත්තේ ය. හදා ගත් මවගේ ලෝකයෙන් කැඩී වෙන් වී දේශපාලන ආර්ථික මූලයන් සොයමින් සාහිත්‍ය භාවිතාවේ යෙදුණේ ය. දිවයිනේ 8වැනි පිටුවට ඔහු ලියූ බොහෝ විදේශ කවිවල පරිවර්තනයන් ලෙස ඔහු ලියූ විදේශිකයන්ගේ නාමයන් සියල්ලම වාගේ ව්‍යාජ නාමයන් ය. චන්ද්‍රකුමාර මාළු වික්කේය. රඹුටන් වික්කේය. මැටි බඩු ද වික්කේය. දුම්රියේ, බස් රථවල රබන් ගසා විරුදු සහ සිංදු කීවේ ය.
චන්ද්‍රකුමාර උපන්නේ 1964 ජුනි 5වැනිදා ගාල්ලේ අහංගම දී ය. මව චන්ද්‍රලතා ද සිල්වා වූ අතර පියා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දොස්තරවරයෙක් විය. චන්ද්‍රකුමාරට ඔහුට වඩා වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරන් දෙදෙනෙක් විය. කුඩා කාලයේ දී ම පියා මව අතහැර වෙනත් පවුල් ජීවිතයක් සඳහා නික්ම ගියේ ය. සිය දරුවන් පෝෂණය කිරීම සඳහා චන්ද්‍රකුමාරගේ මව අනේකවිධ දුක් වින්දා ය.
චන්ද්‍රකුමාර පුවත්පතකට අඳුරේ සිට ලියමි නමින් ලියන ලද කෙටි කථාවක මෙසේ සදහන් ය.
“……රාත්‍රියේත් දවාලෙත් එළිපිටවත් රහසිගතවත් අපේ ගෙදරට අම්මා සොයා ආ මිනිසුන් මඟ තොටේදී මට හමුවේ. එහෙත් මම උන්ට අනුකම්පා කරති. ඒ ඔවුන් එක වේලකට හෝ අපේ බඩ වියත පිරවීමට ඉදිරිපත්වූ නිසා නොවේ. උන්ගේ ජීවිතද තවත් බොහෝ ජීවිත මෙන්ම ඉතාමත් තදබල ලෙස ඉතාමත් භයානක ලෙස රෝගාතුරවි ඇති බැවිනි……උදේට පාන් කාලක් හෝ බනිස් ගෙඩියක්ද දවාලට බත් අහුරක්ද රාත්‍රියට රොටියක්ද අම්මාගෙන් මට ලැබුණේ කෙසේද යන්න වග දැන්නම් මට නිරවුල්ව සිතා ගත හැකිය. ඒ සමඟම ඔබ විසින් මට සමාවිය යුතුය. මා මින් අදහස් කරන්නේ මාගේ අම්මාට අපහාස කිරීමටනම් නොවේ……”
ඔහුට වයස අවුරුදු 13ක් වන විටදී චන්ද්‍රකුමාරගේ අම්මා සිය දිවි නසා ගත්තා ය. එහෙත් පිළිස්සුම් තුවාල වලින් එකවර ඇය මිය ගියේ නැත. පසුව ඇය මියගියේ මාස තුනකට පසුව ය. දිවයින පුවත්පතට 1988 ජනවාරි 16වැනිදා චන්ද්‍රකුමාර ලියන ලද කෙටි කථාවක මෙසේ ද කියවේ.
“….තෙමසකට අධික කාලයක් තිස්සේ අධික පිළිස්සුම් තුවාල සහිතව ඇය බරපතළ වේදනාවෙන් පෙළුනාය. අපි සතර දෙනා ස්තෝප්පුවේ මළානිකව වැතිර සිටිද්දී ඒ දෙස බලා සිටීමට නොහැකි වූ අසල්වැසියෙකු පරණ බෙලෙක් පිඟානකට බත් ටිකක් දුන්නේය. ඇතැම් දිනවල මමත් මල්ලීත් වැලිගමට යන තුරු පයින් ඇවිද යමින් සහල් සිඟාකාගෙන පැමිණ ලුණු කැඳ හදා අම්මාට පෙව්වේය. ඇගේ සයනය ද ඇගේ වැසිකිළි ද ඇය වැතිර වුන් ලණු ඇද කබල විය. පිළිස්සුම් තුවලවලට පනුවන් ගසා තිබිණි. තුන් මසකට පමණ පසු එක් රාත්‍රියක අම්මා නොදෙඩුවා ය. ඉන් පැයකට පමණ පසු අම්මාගේ පැරණි හිතවතියන් කිහිප දෙනෙකු පැමිණ පසු දිනම භූමදාන කටයුතු කළේය….”
මව අහිමිවීමෙන් පසු චන්ද්‍රකුමාර ඇතුළු සොයුරු සොහොයුරියන්ට සිදුවුයේ අම්බලන්ගොඩ පොල්වත්තේ සිටි පුංචි අම්මා කෙනෙකුගේ නිවසට පැමිණීමටය. ඒ 1977දීය. පසු කළෙක ඔහුට සිදුවූයේ මාළු විකුණන කඩයක ළමා සේවකයෙකු ලෙස දුෂ්කර වැඩවල නිරතවීමය. චන්ද්‍රකුමාරගේ සොහොයුරියට උරුම වූයේ ඥාති නිවසක කුස්සියේ ඉවුම් පිහුම්වලට හවුල්වීමටය. බාල සොහොයුරන් දෙදෙනාම මෝටර් රථ ගරාජයක ඇණ මුරිච්චි ගැලවීමට බාස්ලාට උදව් විය. පියා මව අතහැර යාමෙන් පසු අසරණ වූ මවද මියයෑමෙන් චන්ද්‍රකුමාරගේ සොයුර සොහොයුරියෝ සීසීකඩ විය.
චන්ද්‍රකුමාර ඒ පිළිබදව සිය කවි සිත 1986 සැප්තැම්බර් 8වැනිදා නවලිය පුවත්පතින් ආවර්ජනය කර ඇත්තේ මෙලෙසිනි. “…… පුංචි අයියා බදාම අනනවා, හිච්චි අයියා තෙල් මජං ගාගෙන බත්වේල හොයනවා, නංගීයේ දැනෙනවා නුඹේ කඳුළු නුඹේ සුසුම්, එහැම මොහොතකම හඬනවා අපිත්….”
අම්බලන්ගොඩ පොල්වත්තේ සිටි චන්ද්‍රකුමාර අම්බලන්ගොඩ කරිත්තකන්ද පන්සලේ ඇසුරට වැටෙන්නේ මෙම කාලයේදීය. වර්තමානයේ මෙම පන්සල හඳුන්වන්නේ අම්බලන්ගොඩ පූරාණ සුභද්‍රාරාමය ලෙසිනි. හැටේ දශකයේ සිට මෙම පන්සල දකුණු පළාතේ වාම බලකොටුවකි. එයට හේතුව වූයේ කරිත්තකන්ද පන්සලේ නායක හිමියන්වූ පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී හිමි සමසමාජ ප්‍රබල බලකණුවක් වූ නිසාය. පටබැදිමුල්ලේ නායක හිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් විලේගොඩ අරියදේව හිමි එම පන්සලේ පැවිදිවූයේ 1963දීය. විලේගොඩ හිමි අම්බලන්ගොඩ ගොඩහේනේදී 1950 ජුනි 23වැනිදා උපත ලැබීය. අම්බලන්ගොඩ කවුඩුලුමුල්ල ශ්‍රී විජයාරාම විහාරයේද නායක හිමි වශයෙන් කටයුතු කළේ පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී හිමියෝය.
වාම බලකොටුවක් වූ කරිත්තකන්ද පන්සල 60 දශකය අවසාන වන විට ජවිපෙ තෝතැන්නක් විය. අරියදේව හිමි ජවිපෙට බැදුනේ 1968දීය. නිරතුරුව පන්සලට පැමිණි ජවිපෙ නායකයින් අතර රෝහණ විජේවීර, 71 කැරැල්ලේ දෙවැනි නායකයා වූ විජේසේන විතාන නොහොත් සනත් බොරළුකැටිය, හතරවැනි විත්තිකරු වූ අනුර කුලකුලසූරිය, 15වැනි විත්තිකරු වූ පියසිරි කුලරත්න ඇතුළු කිහිප දෙනෙක්ද විය. එමෙන්ම ජවිපෙ ප්‍රථම පූර්ණකාලීන සාමාජිකාවන් වූ සම්පතී අබේසේකර, සේපාලි ගිණිගේ හෙවත් සේපාලි අම්බලන්ගොඩ, කමණි දේශප්‍රිය ඇතුළු කිහිප දෙනෙක්ද එහි පැමිණි අය අතර වූහ. ජවිපෙ පන්ති පැවැත්වූයේ අලුත්ගල පන්සලේදීය.
කරිත්තකන්ද පන්සල සමඟ චන්ද්‍රකුමාරගේ ඇතිවූ සමීප සම්බන්ධතාවය ඔහුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් විවර කළේය. අම්බලන්ගොඩ පොල්වත්තේ අරියචන්ද්‍ර නමින් 1978දී කරිත්තකන්ද පන්සලේදීම පැවිදි විය. පන්සලේ සහ අවට පන්සල්වල පුස්තකාල පරිශීලයෙන්ද විප්ලවවාදීන්ගේ ඇසුරෙන්ද අරියචන්ද්‍ර හිමියන්ගේ භාෂා සාහිත්‍ය දැනුම පුළුල් විය. උල්පත කවි කොලේ ඇතුළු නිර්මාණ රැසකට උන් වහන්සේ දායක විය.
ආචාර්ය විලේගොඩ අරියදේවි හිමි නිර්මාණශීලි සාහිත්‍යකරුවෙකු ලෙස අරියචන්ද්‍ර හිමි හඳුනාගත් අතර එයට නොපැකිලිව අතහිත දුන්නේය. කලා ලොවේ සම්බන්ධතා පසුකාලයේ ඇතිකරදීමටද විලේගොඩ හිමි මැදිහත් විය. ජවිපෙ සාමාජිකයෙකු බවට පත්වු අරියචන්ද්‍ර හිමි අති දක්ෂ ලෙස තර්ක විතර්ක කළේය. වාද විවාදවල පැටළුණේය. මිතුරන් වූයේ ගංගාධාර, දේවානන්ද විදුහලේ ගුරුවරයෙකු වූ චන්ද්‍රදාස නයිනාවඩු ඇතුළු පිරිසකි. පසුව වසර දෙකකින් උපැවිදි වී යළි කරිත්තකන්ද පන්සලේම සිටිමින් තමාවෙත පක්ෂය පැවරූ වගකීම් උපරිම අන්දමෙන් ඉටු කළේය. ඒ අතරතුර නඩත්තුවීම සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් වැඩපොලවල්වල කම්කරුවෙකු ලෙස සේවය කළේය.
ජවිපෙ 1983 ජුලි මස තහනම් කරන තෙක්ම චන්ද්‍රකුමාර ප්‍රසිද්ධියේ දේශපාලනය කළේය. තහනමින් පසු සමාජවාදී කලා සංගමය හරහා ජවිපෙ සංස්කෘතික ක්ෂේත්රයේ පූර්ණකාලීනකයෙකු විය. කලාකරුවන්ට පක්ෂයේ මතවාදය ගෙනයෑමත් භූගත ප්රකාශනවලට සහායවීමත් ඔහුට පැවරුණු වගකීම විය. බොහෝ කලාකරුවනට ඔවුන්ගේ ලෝකය ඔවුන්ගේ ගෙදර වුවද තමන්ට ගෙදර වූයේ මුළුමහත් ලෝකයම බව යෙව්ටුෂෙන්කෝ කිවියා වරෙක කියා සිටියේය. චන්ද්‍රකුමාර එසේම මුළුමහත් සමාජයටම ආදරය කල මිනිසෙකි.
අසූව දශකයේ මුල් භාගයේදි එනම් 1984 ආරම්භයේ සිට ඔහු නිරතුරුව කොළඹට පැමිණ සම්බන්ධතා ගොඩනඟා ගත්තේය. ජවිපෙට එරෙහිව 1985 මැදභාගයේදී නිල නොවන මට්ටමෙන් රටපුරා මර්ධනය පැතිර යද්දී කොළඹ ඔහුගේ වාසස්ථානය විය. ආචාර්ය විලේගොඩ අරියදේව හිමිගේ මාර්ගයෙන් දිවයින පුවත්පතට පැමිණ ලියුම්කරු හමුවූ චන්ද්‍රකුමාරට පුවත්පතට ලිපි සැපයීම සඳහා එහි කතුවරුන් හදුන්වාදෙන දෙන ලදී. ඔහු ලියන ලද ලිපි ඉදිරිපත්කර ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් දිවයින ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ මගින් හැඳුනුම්පතක්ද ලබාදෙන ලදී. මර්ධනයෙන් ගැලවිම සඳහා තවත් කිවියෙකු වූ ගාල්ල හබරාදූවේ උපන් පේරාදෙණිය කෘෂි පීඨයේ ශිෂ්‍ය කුමාර හෙට්ටිආරච්චි දිනකර පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙසින් කෙටි කාලයක් සඳහා මාසික දීමනාවක් සමගින් හැදුනුම්පතක් ලබාදීමටද ලියුම්කරුට හැකිවිය.
ජයන්ත චන්ද්‍රසිරි එවකට නවලිය සිනමා අතිරේකයේ සංස්කාරකවරයා වූ අතර ඔහුගේ අත් නාට්‍යයේ සුළු චරිතයකටද රංගන ශිල්පියෙකු ලෙසින් එක්වීමට චන්ද්‍රකුමාරට හැකිවිය. ඒ තුළින් ඔහුට අත් නාට්‍යය සමඟ රටපුරා යැමටද කලාකරුවන් සහ කලාලෝලීන් සමඟ නව සබදතා ඇතිකර ගැනීමට අවස්ථාව ලැබිණි.
චන්ද්‍රකුමාරගේ සාහිත්‍ය ජීවිතයට විශාල බලපෑමක් කල යුග පුරුෂයින් වූයේ ඉරිදා සංග්‍රහයේ සංස්කාරක දයාසේන ගුණසිංහ, දිවයින 8වැනි පිටුවේ සංස්කාරක සුනිල් මාධව ප්‍රේමතිලක සහ යොවුන් ජනතා කර්තෘ ධර්මසිරි ගමගේය. දිවයින පුවත්පතේ 8වැනි පිටුව ඔහුගේ මතවාදී අරගලය ගෙනයන සටන් බිමක් බවට පත්වී තිබිණි. දුක්විදින ජනයා, හාම්පුතුන්ගෙන් බැටකන කම්කරුවන්, අතවරවලට ලක්වන ස්ත්‍රීන්, ළමා වහල් ශ්‍රමිකයින්, අයිතින් පතා සටන් කරන සරසවි සිසුන් ගේ හඬ ඔහුගේ කාව්‍ය නිර්මාණ තුළින් අපූරුවට කියා පෑවේය. විටක එය ඩාබිඳුවකි. වරෙක රණ ගීයකි.
අසූව දශකයේ අවසාන භාගයේ නව මංපෙත් සෙවූ කුමාර හෙට්ට්ආරච්චි, කමල් පී අලහකෝන්, රෝහිත භාෂණ අබේවර්ධන මෙන්ම චන්ද්රකුමාරද දීප්තිමත් තාරකාවක් විය. මොවුන් සමාජ ප්රගමනය උදෙසා ජවිපෙ දෙවන කැරැල්ලේ භීෂණයද නොතකමින් සුවිශේෂ මෙහෙවරක යෙදුනු කිවියන්ය. පසු කලෙක භාෂණ ද්‍රවිඩ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියේය. අනූවේ පරපුර සංවිධානය කල දීප ව්‍යාප්ත කාව්‍ය නිර්මාණ තරගයෙන් එදා ප්‍රථම තැන ගත්තේද රෝහිත භාෂණය. දක්ෂ නිර්මාණ ශිල්පියෙකු වූ කමල් පී ගේ උඩුගම්බලා වැනි කාව්‍ය නිර්මාණ භීෂණ සමයේදී පලවූයේ රෝනියෝ මුද්‍රණයෙනි. ඒ එකදු මුද්‍රණ ශිල්පියෙකු හෝ ඒවා මුද්‍රණය කිරීමට බියවු බැවිනි. කමල්ගේ ප්‍රොමිතියස් නාට්‍යද රාජ්‍ය නාට්‍ය උළෙල වරක් නියෝජනය කළේය.
ජවිපෙ දෙවන කැරැල්ලේ අවසානයත් සමඟම 1990 සැප්තැම්බර් නිමාවන වන විට ඝාතනයට හෝ අතුරුදහන් වූ පිරිස 41,813කි. චන්ද්‍රකුමාර ඇසුරු කල ඔහුගේ දේශපාලන නායකයින් සහ සගයින් සියළු දෙනාම වාගේ මර්ධන යාන්ත්රණයට හසුවී ඝාතනයට ලක්වී තිබිණි. ඔහුගේ සංස්කෘතික අංශය භාරව සිටි දේශපාලන මණ්ඩල සභිකයාවූ ඩී.එම්. ආනන්ද 1989 ඔක්තෝබර් 28වැනිදා අත්අඩංගුවට පත්ව 1989 නොවැම්බර් 15වැනිදා ඝාතනයට ලක්විය. සංස්කෘතික අංශයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ නියමුවෙකු වූ මහානාම අත්අඩංගුවට ගැනීමෙන් පසු බිල්ලෙකු බවට පත්වී පසුව 1990 මුල්භාගයේදී කොට්ටාවේදී ඝාතනය කරන ලදී. එහෙත් චන්ද්‍රකුමාරගේ සූක්ෂම ඉව හේතුවෙන් මරණයෙන් ගැළවීමට ඔහු සමත්විය.
කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ උපන් ගමේදී අසූව දශකයේ මුල්භාගයේ පැවති යොවුන් ජනතා පුවත්පතේ යොවුන් පහන් වැට ලේඛක හමුවටද චන්ද්‍රකුමාර සහභාගි විය. පසු කලෙක දෙවන කැරැල්ලේ පරාජයෙන් පසු අනූවේ පරපුර සංවිධානය බිහිවූයේ ධර්මසිරි ගමගේගේ යොවුන් පහන් වැටට විකල්පයක් වශයෙන් නොව රැඩිකල් තරුණ පරපුරේ එකතුවක් ලෙසිනි. අශෝක හදගම, චන්ද්‍රකුමාර, කමල් පී. ජයන්ත කළුපහන ඇතුළු කිහිප දෙනෙක්ම නිලතල බෙදා ගැනීමකින් තොරව වැඩකලේ සාමූහිකවය. තිඹිරියාගම බණ්ඩාර සහ ලින්ටන් සේමගේද සර්වෝදයේදී පැවති නූතන කවිය පිළිබද කථිකාවේදී සුවිශේෂි කාර්යයක් ඉටු කළේය.
මර්ධනයේ කම්පනය නිර්මාණශීලි ලෙස ඔවුන් සමාජගත කල අතර ජවිපෙ යළි 1994දී ගොඩනැගීමට අවශ්‍ය වූ අධ්‍යාත්මක ශක්තිය ලබාදුන්නේ අනූවේ පරපුරේ එම නිර්මාණකරුවන් විසිනි.
චන්ද්‍රකුමාර වික්‍රමරත්න මර්ධනයෙන් ගැලවුනු අය සමඟ එක්ව දුෂ්කරම මොහොත තුළත් ජවිපෙ වෙනුවෙන් පෙනී සිටියේය. ජීවිත අහිමිවූ සගයින්ගේ පවුල්වල දරුවන් ජීවත්කිරීම සඳහා ඔහු විප්ලවීය ජීවිතයකට අකැප නොවන බොහෝ ක්‍රියාකාරකම් සිදුකළේය. ඒ සඳහා රණතුංග ඇතුළු පිරිසක් සමඟ ඔහු එකාවන්ව කටයුතු කළේය. සමාජයට පෙනී සිටියේ බොරැල්ලේ පදික වෙළෙන්දෙක් හෝ මොරටුවේ මල්පෝච්චි විකුණන වෙළෙන්දෙක් ලෙසිනි. ඒ අතරතුර ජේෂ්ඨ මාධ්‍යවේදී පුෂ්පා ඉලංගතිලකගේ දිරිමත් කිරීමෙන් නවලිය පුවත්පතට 1990 සහ 1991 කාලයේදී සිය නිර්මාණයන් යළි එක්කලේය. දකුණේ රැඳවුම් කඳවුරුවල රැදවියන්ට එය නව ජවයක් ගෙනදීමට සමත්විය. දෙවන කැරැල්ලේ පරාජයෙන් අනතුරුව ජීවත්වූ බොහෝ දෙනා ඇද වැටෙද්දී චන්ද්‍රකුමාර පරාජය ඉදිරියේ නොසැලී හිටියේය. අවසාන වරට දේශපාලන සගයෙකු මහනුවරදී චන්ද්‍රකුමාර වික්‍රමරත්න දුටුවේ 1991 මැයි 29වැනිදාය.
දෙවන කැරැල්ලේ පරාජයත් සමඟම ඔහු අවාහ වූයේ පක්ෂය සමඟ හිතවත්කම් පැවැත්වූ පවුලක තරුණියක් සමඟය. ඇය පෞද්ගලික හෙද සේවිකාවක් විය. පවුලේ ආරවුලක් මත නිවසින් පිටවන චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ සිරුර යැයි කියන වෙඩිතබා මරාදමන පුද්ගලයෙක්ගේ සිරුර හමුවන්නේ 1991 ජුනි අවසාන භාගයේදී පොළොන්නරුවේ මැදිරිගිරියෙනි.
ඔත්තුවක් අනුව අත්අඩංගුවට පත්වීමෙන් පසුව චන්ද්‍රකුමාර මරාදැමූ බව කියවේ. ඉන් පසු අද දක්වා චන්ද්‍රකුමාර පිළිබදව කිසිදු තොරතුරක් අනාවරණය නොවීමෙන් එම සිරුර බොහෝ දුරට ඔහුගේ විය හැකිය.
චන්ද්‍රකුමාරගේ භූමිකාව පිළිබදව සාකච්ඡා කර ඔහු වෙනුවෙන් යමක් කරන්නට 2006 සැප්තැම්බර් 13වැනිදා කොළඹ 7 සුදර්ශියේදී හමුවක්ද පැවැත්විණි. කමල් පී. අලහකෝන් සංවිධානය කල එම හමුවට 19 දෙනෙකු සහභාගිවූවා ලියුම්කරුට මතකය. පසුකාලීනව චූලානන්ද සමරනායක ගේ යෝධ කැපවීමද සහිතව සමාජවාදී කලා සංගමය ප්‍රකාශයට පත්කල භූගත කවි සිත එහි ප්‍රතිඵලයක් විය.
චන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු ජවිපෙ දෙවන කැරැල්ලෙන් මතුවූ භූගත කවියෙක්ම පමණක් නොවේ. ඔහු දැඩි සිතැති සංවේදී මානවවාදියෙකි. අනේක විධ දුක්කම්කටොලු, අසාධාරණයන්ගේ සහ පිඩාවන්ගේ සංකේතයකි. ඔහුගේ නිර්මාණ ජීවිතය සැබෑ අත්දැකීම් සහ සැබෑ මිනිසුන් ඇසුරෙන් පොහොසත් විය. නිසැකවම කෙසඟ සිරුරක් සහ බොකුටු කොණ්ඩයක් සහිත ඒ මුරණ්ඩු සටන්කාමියා ජනතාවාදී කිවියෙකි. මිනිසුන් මිය යති. එහෙත් තමා මියගිය පසු පුරාවෘත්තියක් වියහැකි මිනිසෙකු වේනම් ඒ ඔහු පරිපූරණ මිනිසෙකි.
ජවිපෙ දෙවන කැරැල්ලේ දී එහි උච්චතම කලාත්මක ප්‍රකාශකයෙකු වූ චන්ද්‍රකුමාර වික්‍රමරත්න 1990 දෙසැම්බර් 16වැනිදා රාවය පුවත්පතේ පළ කළ “නොවැම්බරයේ කවිය” මෙසේ ය. “පොත් ගුල වනසවා ධර්මාසනය බිඳ, වෙහෙර කඩා බිද රන්කොත අඟුරු කොට, ඉතිහාසයේ හද කරඬුව සොහොන් කොට, නොවැම්බරය ඉගිලුණි, කළු අඳුර වෙත…”










