ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කොවිඩ් වසංගත තත්වය හමුවේ පැවති තත්වයටත් වඩා අවදානම්කාරී බිඳ වැටීමකට ලක්වී ඇති බව අනාවරණය වේ.
සමස්තයක් ලෙස මුලු ලෝකයම ගුවන් ගමන් අත්හිටුවා නාවික ගමනාගමනය ඉතාමත් සීමාකාරී මට්ටමකට පත්කර තිබූ 2020දී ඩොලර් මිලියන 10,047.4ක අපනයන ආදායමක් උපයා ගෙන තිබූ අතර එය පසුගිය 2023 වසර අවසන් වනවිට ඩොලර් මිලියන 11,910.7 දක්වා පහළ වැටීම ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය සම්බන්ධය සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් වී තිබේ.
මේ වඩාත් තහවුරු වන්නේ 2019 වර්ෂයේදී උපයන ලද අපනයන ආදායම වූ ඩොලර් මිලියන 11,940.0ට ද වඩා පහත වැටී තිබීමෙන් ය. එසේ ම, කොවිඩ් පසුකම්පන තත්වය යටතේ පවා මෙරට අපනයන ආදායම 2021 වර්ෂයේදී ඩොලර් මිලියන 12,498.6ක් වාර්තා කර තිබිණි.
තවත් පැත්තකින් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සහ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හැරි මාස 3කට අධික කාලයක් පැවති අඛණ්ඩ මහජන උද්ඝෝෂණ හමුවේ ද 2022 වසරේ දී ඩොලර් මිලියන 13,106.4ක අපනයන ආදායමක් උපයා ගෙන තිබිණි. එම සියලු ජාතික සහ ජාත්‍යන්තර තත්වයන්ට වඩා පහත්ම අගයකට පසුගිය වසරේ මෙරට අපනයන ආදායම බිඳ වැටී තිබේ.









