ඖෂධ කුමන්ත්‍රණයට කෙහෙලියත් හවුල් බවට පිළිගත හැකි සාක්ෂි අධිකරණය ඉදිරියේ ඇතයි මහේස්ත්‍රාත් කියයි

ඖෂධ කුමන්ත්‍රණයට කෙහෙලියත් හවුල් බවට පිළිගත හැකි සාක්ෂි අධිකරණය ඉදිරියේ ඇතයි මහේස්ත්‍රාත් කියයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් ජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර අගතියට පත් පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතිඥයින් වන උපුල් කුමරප්පෙරුම, නලින්ද ඉන්දසිත්ත කරුණු දැක්වූහ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න කරුණු දැක්වූ අතර අටව සැකකරු හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න කරුණු දැක්වීය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කරුණු දැක්වීම ඇරඹූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නේ,

“ප්‍රශ්න ගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා පිළිබඳ නඩුවේ 08 වන සැකකරු ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නම් කරනවා. ස්වාමීනි, අද දින ඔබගේ අධිකරණයට මේ සැකකරු ඉදිරිපත් කරන්නේ, පොදු දේපළ පනතේ 5/1 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ජනරජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්. මේ සැකකරු තමයි ප්‍රමිතියෙන් තොර ඇල් වතුර වැනි ඖෂධයක් යැයි කීමට පවා නුසුදුසු ද්‍රාවණයක් මේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ලබා දෙන්න සැලැස්වීමට මූලික වම වගකි යුත්තේ.

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් ඉවත් කරලා, ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ පෞද්ගලික සැපයුම්කරුවන්ට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වෙන්න පුළුවන් විදිහට ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා තියෙන්නේ මේ සැකකරු විසින්. රටේ පැවති ආර්ථික වාතාවරණයට මුවා වෙලා සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හදිස්සි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ලෙසට වෙනස් කරන්නේම මෙම බාල එන්නත් මාත්‍රා සැපයු පළමු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබා දීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි.

ස්වාමීනි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති පත් කරන්නේ, නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින්. නමුත් ස්වාමීනි මේ සැකකරු 2022 සැප්තැම්බර් 26 කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා, රට තුළ ඖෂධ 182ක් හිඟයි සහ ඖෂධ 17ක් ශුන්‍යයයි කියලා. මේ නඩුවට ප්‍රශ්න ගත වෙන හියුමන් ඉමියුනොග්ලොබියුලින් කියන ප්‍රතිදේහ එන්නත් ඔය කියන කැබිනට් පත්‍රිකාවේ හිඟ යැයි සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ වනවිට එහි හිඟයක් තිබිලා නැහැ.

2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා මසකට එම එන්නත් මාත්‍රා 9500 බැගින් ඒ වන විටත් ලැබෙමින් පැවත ඇත්තේ ජාතික අශ්‍යතාවය 7500ක් වූ පසුබිමකයි. එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා මෙම ඖෂධ සැපයුවේ නැත්නම් සති 03කින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙනවා කියලා. නමුත් ස්වාමීනි ඔය කියන හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් 2023 ජනවාරි වනවිටත් සපයා තියෙන්නේ, ඖෂධ 182න් 09ක් පමණයි. එබැවින් ස්වාමිනි නොමැති ඖෂධ හිඟයක් මවා පාලා ඔහු මේ ගැසට්‌ පත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය සැපයුම් කරුට ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වෙන්න.

ස්වාමීනි, මේ ප්‍රශ්න ගත කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අතිරේක ලේකම් සමන් රත්නායක මහතා යටතේ ඇති අංශය තුළයි. එහෙත්, ස්වාමීනි අදාළ කැබිනට් පත්‍රිකාව සැදීමට පාදක වූ ලේඛන ඇතුළත් ගොනුවක් විමර්ශනවලදි අපට හමුවුණේ නැහැ. අඩුම තරමින් ඔය හදිස්සියි කියු ඖෂධ 182 නම් ඇතුළත් ලේඛනයක් වත් විමර්ශනවලදි අපට හමුවුණේ නැහැ.” යනුවෙනි.

එවිට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විමසා සිටියේ, “කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට යොමු වන්නේ කාගේ අත්සනින්ද ?” යනුවෙනි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම පැවසූවේ “අමාත්‍යවරයාගේ අත්සනින්.” යනුවෙනි.

එම අවස්ථාවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විමසා සිටියේ “එසේ නම් අදාළ ලේඛන ගොනුව නොමැති බව පවසන්නේ කෙසේද?” යනුවෙනි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින් පැවසූවේ “මේ කැබිනට් සංදේශයට අදාළ ගොනුව විතරක් නොවෙයි ස්වාමීනි. කිසිදු ගොනුවක් සොයා ගන්න නැහැ. ඔහුගෙන් ඊයේ මේ ගැන අහපු වාම කියනවා මම දන්නේ නැහැ අදාළ ලැයිස්තුව දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය සහ කැබිනට් පත්‍රිකාව සැදුවේ තමන් නොවෙයි කියලා. නමුත් ස්වාමිනි අමාත්‍යවරයා සතු බලතලවල පැහැදිලිව තියෙනවා සෑම කැබිනට් පත‍්‍රිකාවකම වගකීම අමාත්‍යවරයා සතු බව. එබැවින් ස්වාමිනි මේ සියලු කරුණු සලකා බලා මේ සැකකරු පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

එම අවස්ථාවේ අගතියට පත් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දසිත්ත කරුණු දක්වමින් පැවසූවේ “ස්වාමීනි ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරටයි අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස සිටිය දීම අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. පළමු කැබිනට් පත්‍රිකාවට අදාළ ගොනුව සොයා ගන්න බැහැ කියන්නේන්ම බරපතළ තත්වයක්. අමාත්‍යවරයෙකුට ඔහු ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට වගකියන්නේ නැහැ කියන්න බැහැ. මේ කැබිනට් පත්‍රිකාව හදලා දුන්න එකක් කියලා නිකං අත්සන් ගහන්න අමාත්‍යවරයෙකුට බැහැ.” යනුවෙනි.

එහිදී අගතියට පත් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කරුණු දක්වමින් කියා සිටියේ “ස්වාමීනි අමාත්‍යවරයෙකු ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ පුරවැසියෙකු ලෙස හරිම කනගාටුවක් දැනෙනවා, එන්නත් කුප්පිවල වතුර තිබුණා කියලා ඇහෙද්දී. එබැවින් ස්වාමීනි මේ ප්‍රශ්න ගත එන්නත් මාත්‍රා නිසා කිසියම් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත්නම් මේ සිදුවීම හුදෙක් පොදු දේපළ යටතේ ගැනෙන වරදකට ලඝූ කරන්න එපා කියලා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම අවස්ථාවේ කරුණු දක්වමින් “ස්වාමීනි මේ ප්‍රශ්න ගතවෙලා තියෙන්නේ සතෙකුට කන්න දෙන්න ආනයනය කළ පුන්නක්කු නෙමෙයි. ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට දෙන බෙහෙත්. එබැවින් ස්වාමීනි වගකිවයුතු සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනෙල්ලා රටේ නීතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කරන්න.” යැයි පැවසීය.

මෙම අවස්ථාවේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කර සිටියේ “ස්වාමීනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමග ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද?. කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමග ගියේ කොහොමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැති වුනා නම් ස්වාමීනි ෆයිල් නැති කරපු කෙනා සොයා ගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමීනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා” යනුවෙනි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කර සිටියේ “ප්‍රශ්න ගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට තිබෙන්නේ හුදු සහභාගිත්වයක් පමණක් යැයි කියන්න බැහැ. මොකක්ද අමාත්‍යාංශයක සියලු මුදල් ගෙවීම් සහ කටයුතු අධීක්ෂකයා අමාත්‍යවරයා. හුදු ලේඛනයකට අත්සන් කිරීමකට එහා ගොස් අමාත්‍යාංශයේ සියලු වගකීම් ඔහු සතුයි. එබැවින් මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් මිලියන ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කරන්න ආධාර අනුබල දීමෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් වගේම, මේ 8 වන සැකකරුත් කුමන්ත්‍රණය කර ඇති බවට පිළිගන්න සාක්ෂි අධිකරණය ඉදිරියේ තියෙනවා. එබැවින් මෙම සැකකරුත් එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා.” යනුවෙනි.

ඊට අමතරව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, සැකකරු සෞඛ්‍ය ඇමති ලෙස සිටි සමයේ ප්‍රශ්න ගත සැපයුම්කරු විසින් සිදු කරන ලද සියලු ඖෂධ සැපයීම් සම්බන්ධයෙන් විමර්ශනයක්ද කරන ලෙසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්