නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයේ මෙහෙයුම් ලබන නොවැම්බර් මස ආරම්භ කිරීම සඳහා සූදානම් වුවද පුහුණු පළපුරුදු විදුලි ඉන්ජිනේරුවන් නොමැති කමින් එහි ජනන කටයුතු අවුල්සහත තත්වයකට ගොස් ඇතැයි වාර්තා වේ.
මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු එම ජනන යන්ත්‍රය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා දින 100ක කාලයක් නවතා ඇති අතර එම නඩත්තුව අවසන් වී එහි යළි මෙහෙයුම් කටයුතු නොවැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත. එහෙත් එම කාලය වනවිට නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් අංශයේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරුවන් 40ක් අවම සිටිය යුතු බවත් එම කාලය වනවිට එම පුහුණු පළපුරුදු ඉන්ජිනේරුවන් සංඛ්‍යාව 24ක් දක්වා අඩු වන බවට දැනුම්දී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිටත් එහි මෙහෙයුම් කටයුතු සඳහා ඉන්ජිනේරුවන් ඇත්තේ 34ක් වන බවත් සෙසු පිරිස විදෙස් ගත වී ඇති බවත් සඳහන් වේ. තවත් පුහුණු ඉන්ජිනේරුවන් 10 දෙනකු ඉදිරි මාස දෙක ඇතුළත විදෙස් ගත වීමට සූදානමින් සිටින බවද සඳහන් වේ.
එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ඉන්ජිනේරු රැකියා බලා මෙම ඉන්ජිනේරුවන් බහුතරයම මෙලෙස පිටත්ව යන අතර මේ හේතුවෙන් නොවැම්බර් මුල යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත තෙවන ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුව ලද ඉන්ජිනේරුවන් මෙලෙස නොමැති වන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් අංශයේ ඉන්ජිනේරුවන් 12 දෙනකු සිටිය යුතු වේ. ඊට අමතරව ඔවුන්ගේ සහායක සේවා සඳහා අනිවාර්යයෙන් තවත් ඉන්ජිනේරුවන් සිවු දෙනකු කාර්යයන් සඳහා යොදා ඇති අතර තතුදත් ආරංචි මාර්ග කියා සිටින්නේ නොවැම්බර් වනවිට 40ක් සිටිය යුතු මෙහෙයුම් අංශයේ පුහුණු ඉන්ජිනේරුවන් 24කට අඩු වන බවයි.
මේ හේතුවෙන් දැනට සිටින ඉන්ජිනේරුවන් මේ සම්බන්ධයෙන් සිය පාලන අධිකාරිය දැනුවත් කොට ඇති බවද සඳහන් වේ. මෙම ගැටලුකාරී තත්වයට මුහුණදීම සඳහා දේශීය ඉන්ජිනේරුවන් බඳවා ගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති බව ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී, ඉන්ජිනේරු, රොහාන් සෙනෙවිරත්න පවසයි.
විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා දේශීය ඉන්ජිනේරුවන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණය කැඳවා ඇති බවත් ඒ සඳහා අයැදුම්පත් 400කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කරයි. ඒ අතරින් 19 දෙනකු බඳවා ගන්නා බවත් ලක්විජය බලාගාරය සඳහා හෝ වෙනත් බඳවා ගැනීම් සඳහා චීන ඉන්ජිනේරුවන් හෝ විදෙස් ඉන්ජිනේරුවන් බඳවා ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශය හෝ ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ගෙන නොමැති බවත් එම සාමාන්‍යාධිකාර්වරයා වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් ලංකා විදුලිබල මණ්ඩල උසස් නිලධාරියකු සඳහන් කරන්නේ, ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් සේවයක් ලබා දෙන නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර මෙහෙයුම් කටයුතු සඳහා පළපුරුදු ඉන්ජිනේරුවන් අවශ්‍ය බවත් මෙම සම්මුඛ පරීක්ෂණ හරගා ගන්නා නවක ඉන්ජිනේරුවරයකු ඒ සම්බන්ධයෙන් පුහුණු කිරීම සඳහා වසරකට වැඩි කාලයක් ගත වන බවත්ය. මේ නිසා පුහුණු පලපුරුදු ඉන්ජිනේරුවන් මෙලෙස රට හැර යෑම ලංකා විදුලිබල මණ්ඩලයට දැඩි අභියෝගයක් එල්ල කර ඇති බවද එම උසස් නිලධාරියා සඳහන් කරයි.
මව්බිම – චාමර අමරසූරිය










