ජපාන සමාගමක් වන මිට්සුබිෂි සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව අද (10) ජාතික පුවත්පත් රැසක් වාර්තා කර තිබේ.
මෙලෙස එම සමාගම මෙරටින් ආයෝජව ඉවත් කරගැනීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම්කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම සහ තවත් එවැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් යැයිද සඳහන් වේ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතාවල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙසද කටයුතු කර තිබේ.
මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කිරීම පුද්ගලික අංශයට දැඩි කම්පනයක් ගෙන දෙන ආරංචියක් වන අතර දේශීය හා විදේශීය සමාගම් මිට්සුබිෂි සමාගමේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොකු පසුබෑමකට ලක් වනු ඇතැයි පවසා තිබේ.
ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 2.46ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබිණි.
මිට්සුබිෂි සමාගම එතෙර විවෘත කළ ප්‍රථම කාර්යාල වලින් ශ්‍රී ලංකාවේ කාර්යාලය එක් කාර්යාලයක් වූ බවත් ශ්‍රී ලංකා සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂි සමාගම දායකත්වය ලබාදී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක මිට්සුබිෂි මෙහෙයුම් ප්‍රධාන හවුල්කරුවකු විය.
මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විස්සක් පමණ වුවත් එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශ රාශියකින් ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සපයා ඇත.










