සුදුසු කාලයේ ගියා නම් මෙහෙම දුකක් නැහැ – චමල් මහින්දට කියයි

සුදුසු කාලයේ ගියා නම් මෙහෙම දුකක් නැහැ – චමල් මහින්දට කියයි

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තනතුරුවලට ලෝභී වුවහොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

සුදුසු වේලාවේදී තනතුරුවලින් ඉවත් වීම වැදගත් බවද ඔහු එහිදී අවධාරණය කළේය.

මන්ත්‍රී චමල් රාජපක්ෂ මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

මහින්ද රාජපක්ෂ රට වෙනුවෙන් වසර 50ක පමණ කාලයක් ලොකු සේවයක් කර ඇතැයිද හෙතෙම පැවසූවේය.

රාජපක්ෂවරුන් වසර අනූවක පමණ කාලයක් රට වෙනුවෙන් සේවය කර ඇති බව පැවසූ මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජපක්ෂවරුන් අදටත් ජනතාව ඉහළින් පිළි ගන්නේ අවංකව දේශපාලනය කළ නිසා බවද ප්‍රකාශ කළේ‍ය.

අගමැති රනිල් වික්‍රමසිංහ පුදුම වාසනාවන්ත පුද්ගලයකු බවත් 2015 වර්ෂයේදී අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් තබාගෙන අගමැති ධූරයට පත්වූ ඔහු අද එක මන්ත්‍රීධූරයකින් අගමැති බවට පත්වී ඇතැයිද සඳහන් කළේ‍ය.

සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ අරගලකරුවන්ට පහරදීමෙන් පසුව බව පැවසූ මන්ත්‍රීවරයා එය වැරදි උපදෙස් නිසා සිදුවූවක් බවද ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේදී කිසියම් උසි ගැන්වීමක් සිදුවූ බවද හෙතෙම පැවසුවේය.

ඉවසීමක් නැතිකම නිසා මේ දේවල් සිදුවූ බවත් සියලු සිද්ධීන්වලට මෙතන සියලු දෙනා වගකිවයුතු බවත් රාජපක්ෂ මහතා කීවේය.

අරගලකරුවන්ට පහර දීමට ගිය පුද්ගලයන් නතර කිරීමට පොලීසිය කටයුතු නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව පැවසු මන්ත්‍රීවරයා එසේ නියෝග නොදුන්නේ ඇයි දැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.

ආර්ථිකය බිඳ වැටීමට නිලධාරීන්ද වගකිව යුතු බවත් ඍණ ආර්ථිකය සහ ණය ආර්ථිකය සකස්වූයේ වන පී.බී ජයසුන්දර ආර්ථික උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදී බවත් ඔහු කීවේය.

Facebook
Twitter
LinkedIn