පිරවුම්හල යාවතකාලීන කරලා නැහැ – කන්චන විජේසේකර

පිරවුම්හල යාවතකාලීන කරලා නැහැ – කන්චන විජේසේකර

නාරාහේන්පිට පිහිටි පොලිස් ගරාජයෙන් ඉන්ධන පිරවුම් හලෙහි ඉන්ධන නිකුත් කරනු ලැබූවේ මුදලට නොවන බවත් වත්මන් තත්වය මත මන්ත්‍රීවරුන්ට අත්පිට මුදලට වර්තමාන මුදලට ඉන් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර ඇතත් එහි ලීටරයක මිල රුපියල් 121.19ක් ලෙස සටහන් වන්නේ එම යන්ත්‍ර යාවත්කාලීන කර නැති නිසා බවත් බලශක්ති ඇමති කංචන විජේසේකර අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“වැරදි මතයක් ඊයේ රාත්‍රියේ ඉඳලා පලවෙලා තිබෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බරපතල අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. ඛනිජතෙල් සංස්ථාව මේ මොහොතෙදිවත් මීට පෙරවත් කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රීවරයෙක්ට වෙළඳපොලේ මිලට අඩු මුදලකට කොහේවත් තෙල් මිලදී ගැනීම සඳහා ඉඩසලසා දීලා නැහැ. මේ මොහොතේ දීලත් නැහැ. මීට පෙර දීලත් නැහැ. ඉදිරියට දෙන්නෙත් නැහැ.

පොලිස්ථානයේ පවතින ඉන්ධන පිරවුම්හලෙන් සාමාන්‍යයෙන් අලෙවිය සිදු කරන්නේ නැහැ. මේ අදාල දින කිහිපයේ පමණක් අත්පිට මුදලට ලබාදෙන්න කටයුතු කරන්න කියන එක ඛනිජතෙල් සංස්ථාව පැහැදිලිවම ඔවුන්ට ලිඛිතව අවසරය ලබාදීල තිබුණේ වෙළඳපොලේ පවතින සිල්ලර මිලට. පෙට්‍රල් ලීටරයක් රුපියල් 334.19ක මුදල ඒ වගේම ඩීසල් ලීටරයක් ගත්තොත් එහෙම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289.13ක කියන මුදල.

පවතින කොන්දේසි යටතේ රුපියල් 8000යි අපි දෙන්නේ ඉන්ධන පිරවුම්හල්වල. ඒ ඕනෑම කෙනෙක්ට ලබා ගැනීම සඳහා. නමුත් බරපතල වැරැද්දක් කරලා තිබෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ගරාජය විසින් මේ තියෙන ඩිස්පෙන්සර් එක යාවත්කාලීන කරල නැහැ අවුරුදු තුන හතරකින්. මේ රුපියල් 121 අගය තියෙන්නේ මේ අවුරුදු කීපයකට පෙර තිබුණු අගයක් තියෙන්නේ. ඔවුන් මේ තාක්ෂණික වැරැද්ද සිද්ධ කරල තියෙනවා. ඒ නිසා අපි වහාම විශේෂයෙන් අත්පිට මුදලට මේ වෙළඳපොලේ මුදලට ලබාදෙන එකත් අද උදේ ඉඳලා අපි නවත්වන්න කියන එක අපි ඔවුන්ට දැනුවත් කරල තියෙනවා. ඒ වගේම මේක යාවත්කාලීන නොකිරීම පිළිබඳව අපි පරීක්ෂණයක් පවත්වන්නත් කියලා තියෙනවා.”

Facebook
Twitter
LinkedIn