මැයි දින රැලි නතර කිරීම සඳහා කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය ගනු ලැබූ තීරණයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නැතැයි එහි දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.
ඔහු පවසන්නේ කොළඹ නියෝජ්‍ය පොලිසිපතිවරයාගේ මූලිකත්වයෙන් ඊයේ (19) දිනයේ සියලුම දේශපාලන පක්ෂ කැඳවා මැයි රැලි පැවැත්වීමට ක්‍රීඩා පිටි වෙන් කිරීම, ආරක්ෂාව ඇතුළු පූර්ව කටයුතු සිදු කළ බවත් අද දිනයේ හදිසියේ සෞඛ්‍ය හේතූන් ඉස්මතු කරමින් සිදු කරන්නේ මැයි දින උත්සව කඩාකප්පල් කිරීමක් බවත්ය.
මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…
“ඊයේ දවසේ කොළඹ නියෝජ්‍ය පොලිසිපතිවරයාගේ මූලිකත්වයෙන් සියලුම පක්ෂ නියෝජිතයින් කැඳවලා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මැයි දිනයට අදාල ක්‍රීඩා පිටි වෙන්කිරිමට පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුනා. එම සාකච්ඡාවට කොළඹ මහ නගර සභාවේ නිලධාරීනුත් පක්ෂ නියෝජිතයිනුත් සම්බන්ධ වුනා. ඒ සාකච්ඡාවේදී ක්‍රීඩා පිටි වෙන්කරගත්තට පස්සේ ඊයේ (19) හවස කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයෙන් අපට දුරකතනයෙන් කතා කරලා කිව්වේ මැයිදිනය පැවැත්වීමේදී අනුගමණය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව සාකච්ඡා කරන්න අද (20) දිනයේ සාකච්ඡාවක් පවත්වන බව. ඒකට පක්ෂ නියෝජිතයින් සහභාගී කරවන්න කියලා.
එතකොට දැන් අද දිනයේදී කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය තීරණය කරලා තියෙන්නේ සෞඛ්‍ය හේතු මත මැයි දිනය නොපැවැත්වීමට. ඇත්තටම මැයිදිනය නොපැවැත්වීමට ගත්ත මේ තීරණයට අපි කොහෙත්ම එකඟ නැහැ. මොකද සෞඛ්‍ය හේතු මතනම් මැයි දිනය නොපැවැත්වීමට තීරණය කරන්නේ සෞඛ්‍ය හේතු මත නොපැවැත්විය යුතු උත්සව ගණනාවක්ම තිබුන අපේ රටේ පහුගිය කාලේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහභාගී වන ගම සමඟ පිළිසඳරට දහස් ගණනක් පාක්ෂිකයෝ එකතු කළා. ඒ වගේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ලක්ෂ ගාණක් රට පුරා සංචරණය වුනා. ඒවයෙදි නැතිවෙච්ච හේතුවක් හදලා මේ දැන් සිද්ධ කරන්න යන්නේ ඉතා පැහැදිලිව ආණ්ඩුව මේ මොහොතේ මුහුණදීල තියෙන දේශපාලන අර්බුදය නිසා ආණ්ඩුවට මැයි දිනය පැවැත්වීමේ නොහැකියාව නිසා ආණ්ඩුව මැයි දිනය නොපවත්වා සිටීමේ උත්සාහයක් තමයි මේ කරන්නේ.
මොකද හේතුව මේ වෙනකොට ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව ගණනාවකට තමන් මොන වේදිකාවට නගිනවද කියල තීරණයක් ගන්න බැරුව දැන් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පහුගිය දවස්වල කිව්වා ඔවුන් තනිවම මැයි දිනයක් පවත්වනවා කියලා. ඒ වගේම ආණ්ඩුව මුහුණදීල තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය නිසා, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් තියෙන නිසා රට පත්කරල තියෙන ආර්ථික විනාශය නිසා ආණ්ඩුව මුහුණදෙන විශාල ආර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය හමුවේ අපි විශ්වාස කරනවා මේ හදන්නේ පැහැදිලිව ආණ්ඩුව කුමන්ත්රණකාරී විදිහට මැයිදිනය පැවැත්වීම කඩාකප්පල් කරන්න.
ඒ නිසා මේක සෞඛ්‍ය හේතු මත ගත්ත තීරණයකට වඩා මේ මොහොතේ ආණ්ඩුව මුහුණදෙන දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය නිසා ගත්ත තීරණයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි නැවතත් කියන්නේ මැයි දිනය පවත්වන්න ක්‍රීඩා පිටිත් වෙන් කරල තියෙද්දි සෞඛ්‍ය හේතුමත කියන කාරණාවක් ඉදිරියට දාලා මේ මැයි දිනය නොපැවැත්වීමට ගත්ත තීරණයට පක්ෂයක් හැටියට අපි අපේ සම්පූර්ණ විරුද්ධත්වය පල කරනවා. මේ සම්බන්ධයෙන් අපේ එකඟත්වයක් නැහැ.
අද හවස තිබිච්ච සාකච්ඡාවට සහභාගී වෙච්ච අපේ නියෝජිතයා පවා ඉතා පැහැදිලි ලෙසම පැහැදිලි කරලා තියෙන්නේ මැයි දිනය සෞඛ්‍ය නිර්දේශ මත පවත්වන ආකාරය පිළිබඳව, අපේ පැත්තෙන් අපි සෞඛ්‍ය නිර්දේශ කොහාමද ක්‍රියාත්හක කරන්නේ කියන කාරණය පිළිබඳව තමන් අපි පැහැදිලි කරල තියෙන්නේ. ඒ නිසා පක්ෂයක් හැටියට තමයි අපි තීරණය කරන්න ඕන මැයි දිනය පවත්වනවද නැද්ද කියන එක. ඒක ආණ්ඩුව තීරනය කරන්න ඕන කාරණයකට වඩා පක්ෂයක් ලෙස අපි ගන්න ඕන තීරණයක්. එතනදී අපි ඉතා පැහැදිලිව ඉන්න ස්ථාවරය මේ ගත්ත තීරණයට අපේ එකඟතාවයක් නැහැ කියන එක.”










