මෛත‍්‍රීගේ බකිංහැම් අශ්වයා ඉස්තාලයෙන් පැනලා ගිහින් !

මේ වන විට ප‍්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකේ නාමයෝජනා නාඩගම අවසන්ය. රටේ ජනතාව බලකර ඉල්ලා සිටියේ හොරුන්ට, කුඩුකාරයින්ට, වංචා දූෂකයින්ට සහ අපරාධකරුවන්ට නාමයෝජනා නොදෙන ලෙසයි. එකට කුඩු කෑ උන්ට නාමයෝජනා නොදෙන්නේ නම් විය හැකි දෙය එම පක්ෂ දෙකෙහිම නායකයෝ දනිති. මෙවර නම් නාමයෝජනා පත‍්‍රයේ අරුමයක් කරන්නෙමැයි කටමැත දෙඩවූ මෙම පක්ෂ දෙකම සුපුරුදු මුහුණුම ඉදිරිපත් කොට තිබිණි. ජනතාව එපා කියූ උන්ම ඉදිරිපත් කොට තිබුණි. නාමයෝජනා හැදීම අතින් මෙම පක්ෂ දෙකම මේ වන විට ජනතාව ඉදිරියේ පරාජිතවී අවසන්ය.

        ලිස්ට් එකට මහින්ද දැමීමේ සටනද මේ අතර පැවැති තවත් කොමඩියකි. හිටපු ජනාධිපති, අගමැති අපේක්ෂකයකු වීම සඳහා විවිධ උත්සාහයන් ගත්තේය.  මෙතෙක් ශ‍්‍රී ලංකාවේ (ඉල්ලාගෙන) චන්දයෙන් පැරැදුන එකම ජනාධිපති මහින්ද රාජපක්ෂය. එම ශ‍්‍රී ලංකා වාර්තාවට තවත් වාර්තාවක් එක් කිරීමට මහින්ද නැවතත් උත්සාහ කරමින් සිටියි. එනම් ජනාධිපතිවරයෙකුව සිට  මන්ත‍්‍රීකමකට පොර ඇල්ලීමේ ප‍්‍රථමයා සහ අන්තිමයා යන වාර්තාවයි. එක් අතකින් මෙය පුදුම විය යුතු කාරණයක්ද නොවේ. මෙය බලය පිළිබඳ ප‍්‍රශ්නයක් මිස පුද්ගලයා පිළිබඳව ප‍්‍රශ්නයක් නොවේ. බලයේ සිටි අයට බලය අහිමිවීමේ වේදනාව දරාගැනීමේ අමාරුව මෙහි ඇත. බලය ඇති කල කළ කී දෙයට දඬුවම් ලැබීමට වේය යන බිය අනෙක් කරුණය. මේ සියල්ලටම වඩා තම පවුල්වාදය රැුක ගැනීමේ උවමනාව මෙහි ඉදිරියෙන්ම ඇත. ඒ සඳහා තම පුත‍්‍ර රත්නයට ඉඩ සලසා දීම මෙහි ඒකායන අරමුණයි. කෙසේ වෙතත් දැන් මහින්ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් 2015 මහමැතිවරණයට තරඟ කරන තවත් එක් අපේක්ෂකයෙක් පමණකි..

        මහින්දවාදීන් සිතා සිටියේ මහින්දට නාමයෝජනා දීමෙන් මහා රැුල්ලක් නැගේය යන්නය. එහෙත් එය මහින්දවාදීන්ට මිස රටේ ජනතාවට ‘අත්තම්මාට හීනෙන් ගිය වාතයක් ’තරම්වත් නොවීය. රාජ්‍ය බලය, රාජ්‍ය දේපල සියල්ල භාවිත කරමින් ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වූ පසුව හිටපු ජනාධිපතිවු පමණින් මහින්ද යලි නැගලා එන්නේ නැත. මහින්ද නැගලා එන්නේ නැති නිසා එ.ජා.ප.යට එහි වාසිය ගන්නට තරම් පසුබිමක් සැකසෙන්නේද නැත. ඒ ජනතාව ගිනිපෙනෙල්ලෙන්ද, කණාමැදිරියාගෙන්ද යන දෙකෙන්ම බැට කා ඇති නිසාය. එනිසා ජනතාව වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්නට පෙළඹෙන දේශපාලන පසුබිමක් ඇතිවෙමින් තිබේ.

        නාමයෝජනා ඉල්ලා මහින්ද ඇල්ලූ පොරය පිළිබඳව රටේ ප‍්‍රබල අප‍්‍රසාදයක් මතුව තිබුණි. එය එක් අතකින් සමාජය පැත්තෙන් යහපත් ලක්ෂණයකි. එමෙන්ම හොරුන්ට, දූෂකයින්ට, අපරාධකරුවන්ට නාමයෝජනා දෙන්න එපා යැයි ජනතා හඬක් නැඟීය. එය වඩාත් හොඳ ප‍්‍රවනතාවයකි. මහින්දට නාමයෝජනා දෙන්න එපා යැයි ජනතාව හඬ නැඟීය. එයද ඉතාම යහපත් තත්වයකි. මෙයින් පැහැදිලි වන්නේ රටේ ජනතාව ඇස්කන් පියා නොසිටින බවයි. එසේම මහින්දට නාමයෝජනාදීම සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව ප‍්‍රබල විරෝධයක් මතුවිය. මෙතෙක් නෑසු කන්ව සිටි මෛත‍්‍රී  නමයෝජනා දීමෙන්  දිනකට පසුව සිය මෞන ව‍්‍රතය බිඳ දමා ඇත.

        ඒ අනුව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය 14 වෙනිදා විශේෂ ප‍්‍රකාශයක් කරන්නට යෙදුනි. ඉන් ඔහු පවසන්නට උත්සාහ කළේ තමන් මහින්ද නැවත බලයට එනවාට විරුද්ධ බවත්, ඔහුට නාමයෝජනා දෙනු ලැබූයේ ශ‍්‍රී ල.නි.ප.ය විසින් බවත්ය. ඉන් පෙර මෛත‍්‍රී විසින් මහින්දට නාමයෝජනා දෙන්නට එකඟවීම නිසා හැට දෙලක්ෂයක ජනවරමට ඔහු විසින් පයින් ගැසු බව කියවිනි. එය ඔහුට දරාගත නොහැකි තරමටම තදබල ප‍්‍රහාරයක් විය. ජ.වි.පෙ. එම විවේචනයේ පෙරමුණේ විය. එයට මුහුණදීමට අපහසුව ඔහු දැන් නිදහසට කරුණු පවසන්නට පෙළඹී ඇත. මහින්දට තමන් අදත් විරුද්ධ බව ඔහු පවසන විට අපට හැෙඟන්නේ ඔහු බොරු කරන බවය. එයට හේතුව එය එසේ නම් මහින්ද රාජපක්ෂ පවුල කළ වංචා, ¥ෂණ වලට එරෙහිව ක‍්‍රියා මාර්ග උනන්දු නොකළේ ඇයි? ඒවා මන්දගාමි වන විට  පසු විපරම් නොකළේ ඇයි ? සැබවින්ම දැන් ඔහුට ඇත්තේ මේ පිළිබඳව විවේචනයකි. ශ‍්‍රී ල.නි.ප. සභාපතිත්වය ගනු ලැබූයේ 19 සම්මත කිරීමට පක්ෂයේ උදව් ගැනීමට බව පවසයි. තවද මහින්දට නාමයෝජනා දෙන්න තීරණය කළේ ශ‍්‍රී ල.නි.ප.යේ සාතිශය බහුතරය විසින් බවත්, එහිදී තමන් අසරණ බවත් ඔහු පවසයි. ඉතින් මේ මෛත‍්‍රී  කී දේ නාහන ශ‍්‍රී ල.නි.ප. සාතිශය බහුතරය (මෛත‍්‍රීට අනුව සියයට 80කට වඩා) 19ට එකඟ වුනාද? ඔවුන් එයට එකඟ වූයේ හිතේ හැටියට එය කප්පාදු කළ පසුවය. මෛත‍්‍රීගේ සභාපතිත්වයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට වූ වැඩක් නැත. ඔය පමණින්වත් එය සම්මතවූයේ ජනතාවගෙන් එල්ලවූ පීඩනය නිසාය. එහි කස කරුවා වූයේද ජ.වි.පෙ.ය.

        මෛත‍්‍රීට අවශ්‍යවූයේ පසුගිය ජනවාරි 8 වෙනිදා තමන් ලද ලක්ෂ 62ක ජනවරම අඩුවි ඇති තරම (අඩුම තරමින් තුන් ගුණයකින්වත් අඩුව ඇත.) නොපෙන්වන්නටය. 20 වැනි සංශෝධන ඇබය ගසා මැතිවරණය කල් දමන්නට වළිකෑවේද ඒ නිසාය. නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්නට සිදුවිය. ඉන් පසුව ඔහු කල්පනා කලේ මහින්ද පිට තබා තම චන්ද අඩුවීම වසාගන්නටය. මහින්දට නාමයෝජනා දෙන්නට එකඟ වන්නේ එනිසාය. තමන් බලයට පත්කළ ජනතාව අමතක කොට තම පැවැත්ම වෙනුවෙන් ගත් මෙම තීරණයට ජනතාවගෙන් එල්ලවූ විරෝධය හමුවේ ඔහු ගොළුවකු සේ සිටියේය. නාමයෝජනා අවසන්වූ පසුව (අශ්වයා / බූරුවාට පැනයන්නට ඉස්තාලයේ / ගාලේ  දොර හැර තබා ) ශ‍්‍රී මුඛය විවෘත කළේය. එසේ නොවේ නම් පසුව පැවසූ දෙය නාමයෝජනා වලට කලින් නොපවසන්නට බැරි තරමට මෛත‍්‍රී ගොළුව සිටියේ ඇයි?

 

සුහර්ෂන

Facebook
Twitter
LinkedIn