පසුගිය ජූලි මස 08 වන දා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ හිටි හැටියේම වසා දැමීමට බලධාරීන් විසින් තීරණය කරන ලදී. මේ අනුව එදින පෙරවරු 11.32 සිට පැය 6ක කාලයක් නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ සියලූ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.
2001 සැප්තැම්බර් 11දා නිව්යෝර්ක් හා වොෂින්ටන් නගරවලට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව එරට කොටස් හුවමාරුව සතියක කාලයකට වසා දැමීමෙන් පසු වැඩිම වේලාවක් වෙළෙඳාම අත්හිටවූ පළමු අවස්ථාව මෙය විය. ඊට හේතුව ‘පරිගණක දෝෂයක්’බව කියා සිටි හුවමාරුවේ නිලධාරීන් තවදුරටත් පැවසුවේ, එය බාහිර සයිබර් ප‍්‍රහාරයක් හෝ වෙනත් ‘දුෂ්ඨ ක‍්‍රියාවක’ප‍්‍රතිඵලයක් නොවන බවය.
ධවල මන්දිරය, ඇමරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව හා සුරැකුම් හා හුවමාරු කොමිසම යන සියල්ල ප‍්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ, එරට ලොකුම හුවමාරුවට සතුරු ප‍්‍රහාරයක් එල්ල වූ බවට කිසිදු ඇඟවුමක් නොමැති බවය. එෆ්.බී.අයි. සංවිධානය පැවසුවේ පරීක්ෂණයක් ඇරඹීමට හේතුවක් නොමැති බවයි.
මේ කාලය තුළ නිව්යෝර්ක් හුවමාරුවේ ලියාපදිංචි කර ඇති කොටස් අනෙකුත් හුවමාරු මධ්‍යස්ථානවල දී වෙළෙඳාම් කෙරුණු අතර, දිනයේ වෙළෙඳාම අවසන් වන තෙක්ම හදිසි ඇණහිටීමෙන් සිදුව ඇති ආර්ථික හානිය කෙතෙක් දැයි පැහැදිලි වී නොතිබිණ. වසා දැමීමට හේතුව පිළිබඳව වැඩිමනත් පැහැදිලි කිරීමක් ද සිදු නොවීය. ආරම්භයේ පටන්ම එය අවුලක් වූ බවත්, නිව්යෝර්ක් හුවමාරුවේ පරිගණක කවුලූ එක්කෝ සම්බන්ධ කර ගත නොහැකි වීම නැත්නම්, හදිසියේම විසන්ධි වීම නිලධාරීන් කටයුතු අත්හිටුවීමට තීරණය කරන තෙක්ම පැවතුණු බවත් මේ පිළිබඳ අදහස් දක්වන තැරැව්කරුවෝ පවසති.
එක්සත් ජනපදයේ පමණක් නොව ලෝකයේම ආර්ථිකයට දැඩිව බලපාන නිව්යෝර්ක් කොටස් හුවමාරුව වසා දැමීම සැලැසුම්සහගත ක‍්‍රියාවක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. චීන වෙළෙඳපොළෙහි සිදු වෙමින් ඇති කඩා වැටීම හා ග‍්‍රීසිය ණය පැහැරහැරීම මඟින් ඇති වී තිබෙන කොටස් විකුණා දැමීමේ ප‍්‍රවණතාව ඊට එක් ප‍්‍රධාන හේතුවකි. පසුගිය සති තුනක් තිස්සේ 30%ක කඩාවැටීමට අමතරව ෂැංහයි සංයුක්ත දර්ශකය එදින 5.9% කින් පහත වැටීම, ඇමරිකානු කොටස් මිල වෙළෙඳාම ආරම්භයේදීම තියුණු ලෙස පහළ යාමට බල පා තිබිණි.
නිව්යෝර්ක් හුවමාරුව වසා දමන අවස්ථාවේ දී ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 200කින් ද නැස්ඩැක් හා එස් ඇන්ඞ් පී 500 දර්ශක 1% ට වැඩි ප‍්‍රමාණයන්ගෙන් ද පහත වැටී තිබිණි. හුවමාරුව වසා දැමීමට ආසන්න අවසන් විනාඩි 50 ඇතුළත වැටීම වේගවත් වූ අතර වසා දැමුණ කාලය අතරතුර කොටස් මිල දිගට ම පහත වැටීම සිදු විය.
ඩව් ජෝන්ස් දර්ශකය දිනය අවසානයේ ඒකක 261කින් හෙවත් 1.47%ක් ද එස් ඇන්ඞ් පී 500 ඒකක 34කින් හෙවත් 1.67% කින් ද නැස්ඩැක් 87කින් හෙවත් සියයට 1.75% කින් ද පහත ගියේය.
මෙම සිදුවීම වූ වේලාවටම සිදුවූ තවත් ප‍්‍රධාන බිඳවැටීම් දෙකක් නිසා වසා දැමීම සැලැසුම් සහගත ක‍්‍රියාවක් බවට සැකසංකා හා කලබලය තවත් වැඩි විය. පෙරවරු 8ට ‘යුනයිටඞ් එයාර් ලයින්ස්’රවුටර් ක‍්‍රියා විරහිත වීම නිසා ‘ජාල සම්බන්ධතා ප‍්‍රශ්නයක්’ඇතිවූ බවත්, එහි ප‍්‍රතිඵලය වශයෙන් ලෝකය පුරා එහි ගුවන් ගමන් නතර කර ගුවන් යානා ගොඩබැස්වූ බවත් වාර්තා වේ. ගුවන් සේවය පෙරවරු 9.49 දක්වා යළි ක‍්‍රියාත්මක නොවීය.
කොටස් හුවමාරුව එහි මෙහෙයුම් නතර කළ වේලාවටම වාගේ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ’වෙබ් අඩවිය අඩාල විය. පැය දෙකක් තිස්සේ එහි මාර්ග අපගතවී තිබිණි.
දිනෙන් දින උග‍්‍ර වන ආර්ථික අර්බුදයේ සහ ආර්ථික ව්‍යාකූලත්වයේ සැබෑ ස්වරූපය ලෝකයෙන් වසන් කර තබා ගැනීමට එක්සත් ජනපදය තව දුරටත් විවිධ උපක‍්‍රම යොදා ගනිමින් උත්සාහ දරමින් සිටින බව මේ අනුව වඩාත් හොඳින් පැහැදිළි වේ.









