ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ  නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ සිදු විය.

හෘද වාහිනී රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින් ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2,403ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 08කින් සමන්විත අතර 2028 මැයි මාසය පමණ වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

මෙහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,

“පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අපි මෙම ස්ථානයට පැමිණ ඔබට පෙරොන්දුවක් ලබා දුන්නා හැකි ඉක්මණින් මෙම හෘද රෝග ඒකකයේ වැඩ කටයුතු ආරම්භ කරන බවට. 2028 මැයි මාසය වන විට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අද දිනය පුරා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ඉදිකිරීම් 04කට මුල් ගල් තැබීම සිදු වෙනවා. අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කෙරෙන හිදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල් ගල් තැබුවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය උපකරණ සහිතව රුපියල් මිලියන 4185ක් වටිනා ව්‍යාපෘතියක්. රුපියල් මිලියන 2403ක් ඉදිකිරිම් සඳහාත්, රුපියල් මිලියන 1782ක් උපකරණ මිලදී ගැනීම සඳහාත් වෙන් කර තිබෙනවා.

ඒ වගේම අද සවස් කාලයේදී මුලතිව් රෝහලේ තවත් රුපියල් මිලියන 600ක වියදමින් මහල් 04කින් සමන්විත වෛද්‍ය වාට්ටු ඒකකයක් ඉදිකිරීමට මුල් ගල් තබනවා. ඒවගේම අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවත් මිලියන 3,000කට වඩා වටිනාකමකින් යුත් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබනවා. ඉදිකිරීම් ලෙස ගත් විට රුපියල් මිලියන 7100ක් පමණ වටිනා ඉදිකිරීම් සහ උපකරණ සමග මිලියන 12,000ක පමණ පහසුකම් අද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් වෙනවා.”

ප්‍රදේශයේ ආගමික නායකයින්ද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර ඇතුළු පළාතේ මහජන නියෝජිතයින්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ රාජ්‍ය නිලධාරින්ද, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත Shigeo Honzu යන අයද, රෝහල් අධ්‍යක්ෂ සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්