1990 ජනවාරි 03වැනි දින ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ අණ පරිදි එක්සත් ජනපද හමුදා පැනමාවේ එවකට නොනිල පාලකයාව සිටි හමුදාපති මැනුවෙල් නොරියේගා (Manuel Noriega) එක්සත් ජනපදය වෙත පැහැරගෙන පැමිණියා. අද 2026 ජනවාරි 03වැනිදායි. අද උදෑසන ට්‍රම්ප්ගේ අණ පරිදි වෙනිසියුලාවට කඩා වැදුණු එක්සත් ජනපද මෙරීන් භටයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මධුරෝ (Nicolás Maduro) සහ ඔහුගේ බිරිඳ එක්සත් ජනපදයට පැහැරගෙන යනු ලැබුවා.
එක සමාන පැහැරගෙනයාම් දෙකක් වුවද මේ සිදුවීම් ද්විත්වයේ සමානකම් සහ වෙනස්කම්ද හඳුනා ගත හැකියි.
චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වූ මධුරෝ එක්සත් ජනපද විරෝධය බලයට පත්වීමේ ආරම්භයේ සිටම උරුමකරගත්තා. නමුත් නොරියේගා උපන්ගෙයිම ඇමරිකානු හිතවාදියෙක්. විශේෂයෙන් 1980 ගණන්වල මුල සිට පැනමාවේ නොනිල ආඥාදායකයා වශයෙන් එක්සත් ජනපද බුද්ධි අංශ සමග සමීප සබඳතාවක් නඩත්තු කළා. නමුත් ඔහු සහ එක්සත් ජනපදය අතර විරසකය ඇරඹෙන්නේ ඝාතනයන් ගණනාවකට අදාළ සහ මත්ද්‍රව්‍ය ජාලය සමග වූ ඔහුගේ අපරාධකාරී ඉතිහාසය ප්‍රසිද්ධියට පත්වීමත් සමගයි. අනතුරුව නොරියේගා බලයෙන් පහකිරීමට තීරණය කළ එක්සත් ජනපද බලධාරීන් රේගන් ජනාධිපතිගේ කාලයේම ඔහු ඉල්ලා අස්වන ලෙසට නම්මවා ගැනීමට උත්සාහ කළා. නමුත් එය අසාර්ථක වීමෙන් සහ එක්සත් ජනපද විශේෂ ජූරි සභාවක නඩුවකින් අනතුරුව නොරියේගා වරදකරු කිරීමෙන් පසු 1989 දෙසැම්බර් එක්සත් ජනපද හමුදා පැනමාව ආක්‍රමණය කළා. සති කිහිපයක ගැටුම්වලින් පසු 1990 ජනවාරි 03 වතිකානු තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ පතා සිටි නොරියේගාව එක්සත් ජනපද හමුදා විසින් එක්සත් ජනපදය කරා රැගෙන ගියා. එහිදී වසර 40ක සිරදඬුවම් නියමවීමෙන් පසු 2010 වන තෙක් එහිද පසුව මුදල් විශුද්ධකරණය යටතේ ප්‍රංශයේද 2011 සිට 2017 වන තෙක් පැනමාව තුළම සිරදඬුවම් විඳීමෙන් පසු අවුරුදු 83දී ඔහු මිය ගියා.
වෙනිසියුලානු ජනාධිපති පැහැරගෙනයාමද ජනවාරි 03 වැනි දිනක සිදුවීම අහම්බයක්ද නැතහොත් සිතාමතා තෝරා ගන්නා ලද්දක්ද යන්න එක්සත් ජනපද බලධාරීන්ගෙන්ම දැනගත යුතුයි.
අනෙක් අතට වෙනිසියුලානු ජනාධිපතිගේ ඉරණම නොරියේගාට සමාන වනු ඇතිද නැතහොත් සෙසු රටවල බලපෑම් මත වෙනස් වනු ඇත්ද යන්න ඉතිහාසය විසින් පැහැදිලි කරනු ඇත.










