2028 වසරේ සිට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත්
2029 සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත්
2031 සිට උසස් පෙළ විභාගයත් පුළුල් වෙනස්කම්වලට ලක් වේ
මෙම ජනවාරි 05 වෙනිදා සිට පාසල් වාරය ඇරඹෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ බවත් 2028 වසරේ සිට 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත්, 2029 සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත්, 2031 සිට උසස් පෙළ විභාගයත් පුළුල් වෙනස්කම්වලට ලක් වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) වාසනා එදිරිසූරිය පවසයි.
දරුවන්ට ශිෂ්‍යාධාර ලබාගැනීම සහ ප්‍රාථමික පාසල්වල දරුවන්ට 06 ශ්‍රේණියට පාසලක් ලබාගැනීම යන අවශ්‍යතා හේතුවෙන් 05 ශිෂ්‍යත්ව විභාගය 100%ක් අහෝසි නොකරන නමුත්, 2028 සිට එහි ආකෘතික වශයෙන් වෙනසක් කිරීමට සැලසුම් කර ඇති බවත්, විශේෂඥ උපදෙස් මත දරුවන්ගේ මනසට පීඩාවක් නොවන පරිදි විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වෙනස්කම් සිදු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම මෙතෙක් විෂයයන් 09ක් ඇතුළත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2029 වසරේ සිට විෂය 07ක් යටතේ පැවැත්වෙනු ඇතැයිද එහිදී ගණිතය, විද්‍යාව, භාෂාව, ඉංග්‍රීසි හා ආගම ඇතුළත් අනිවාර්ය විෂයන් 05 සමඟ ඉතිරි විෂයන් 02 විෂයන් රාශියක් අතුරෙන් සිසුවාගේ අභිමතය පරිදි තෝරාගත හැකි බවත් ඇය සඳහන් කරයි.
ඊට අමතරව පාසල් මට්ටමින් තවත් විෂයන් 07ක් හැදෑරිය යුතු අතර, ඊට විභාග නොපැවැත්වෙන බවත් ඇය පවසයි. එයින් විෂයන් 04ක් තමන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාවට අදාළ වන පරිදි හැදෑරිය යුතු බවත් එක් වෘත්තීය විෂයයක් සැම සිසුවකුම හැදෑරිය යුතු බවත් ඇය පෙන්වා දෙයි.
මානව ශාස්ත්‍ර විෂය ධාරාව හැර සෙසු විෂය ධාරා හදාරන සැම සිසුවකුම ඉතිහාසය හා සෞන්දර්යය යන විෂයන් 02 හැදෑරිය යුතු යැයි ඇය අවධාරණය කරයි.
උසස් පෙළ විභාගයට අදාළ වෙනස්කම් මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් එසේම පරිවර්තනීය කුසලතා මොඩියුල කිහිපයක්ද උසස් පෙළට එකතු වීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) වාසනා එදිරිසූරිය වැඩිදුරටත් පවසයි.







