ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් මිලියන 15ක ආයෝජනයක අවබෝධතා ගිවිසුමක්

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් මිලියන 15ක ආයෝජනයක අවබෝධතා ගිවිසුමක්

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර ඩොලර් මිලියන 15ක අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ අත්සන් තබා ඇත.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් (Prof. Hans Keirstead) සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා මෙන්ම ආනයන සහ අපනයන ක්ෂේත්‍රයන්හි පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.

මෙම අවස්ථාවට එක් වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මෙදින ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන බවත් ප්‍රතීතනය යන්න රටකට ඉතා වැදගත් වන්නක් බවත් පැවසීය. වසර 2030 වනවිට මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීම සඳහා වන රජයේ අරමුණ කරා යාමේදී මෙවන් ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක වැදගත්කම උඩුගමසූරිය මෙහිදී අවධාරණය කළේය.

දිවයින පුරා මේ වනවිට පවතින රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි භාණ්ඩ සහ සේවාවල තත්වය තහවුරු කිරීම මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

මෙවැනි රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීම ආදි විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට තරම් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිබඳව තමන් සතුටු වන බව මෙහිදී පැවසූ STEMedical ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ්, මෙම ව්‍යාපෘතිය මගින් මෙරටට සායනික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද බොහෝ ප්‍රතිලාභ අත් වනු ඇති බවද පැවසීය. විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයින්ගේ අවධානයද මෙරටට යොමු වනු ඇති බවත්, අප රටෙහි පමණක් නොව වෙනත් රටවලද ‌ඖෂධ වැනි දෑ ප්‍රතීතනය සඳහා මෙරටට යොමු කිරීමෙන් ආදායම් උත්පාදනය වනු ඇති බවත් කීර්ස්ටෙඩ් මෙහිදී සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයෙහි නිර්මාතෘ වන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් ජාත්‍යන්තරව පිළිගත් මූලික සෛල (Stem cells) විශේෂඥයෙකි. එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පිළිගත් ව්‍යවසායකයෙකි. මේ වනවිට ගෝලීය මානව ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියෙහි (Human Immunome Project) ප්‍රධාන විධායක නිලධාරි තනතුර දරන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් ඩිස්කවර් සඟරාවේ ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් 100දෙනා අතර සිටින විද්‍යඥයකු වීමද විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා, ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිස්ටර් ගේබ්‍රියල් ලෝන් (Dr. Nistor Gabriel Loan) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn