බුදුන් ඝාතනය කර අවුරුදු 45කට පසුව ජනාධිපති අනුර යුක්තිය ඉටුකරයි…

බුදුන් ඝාතනය කර අවුරුදු 45කට පසුව ජනාධිපති අනුර යුක්තිය ඉටුකරයි…

ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති යටතේ ප්‍රමුඛ පෙළේ ඇමතිවරුන්ගේ නායකත්වයෙන් මැරයන් යොදවා 1981 සංවර්ධන සභා ඡන්දයේදී යාපනයේ ඡන්ද කොල්ලය වෙනුවෙන් එහි පුස්තකාලය ගිනි තැබීය.

එම පුස්තකාලය ගිනි තබා වසර 45කට ආසන්න කාලයක් ගෙවී ගිය තැන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ අතර, විශේෂයෙන් යාපනයේ පුස්තකාල වැඩි දියුණු කිරීම ප්‍රමුඛස්ථානය කර ගත් පුස්තකාල ව්‍යාපෘතියකට මුදල් වෙන්කරනු ලැබීය.

යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් කම්පනයට පත් ‘එම්.ඒ. නුහ්මාන්’ නම් මුස්ලිම් කවියා “බුදුන් ඝාතනය කිරීම” යනුවෙන් කවියක් ලියූ අතර, නිලාර් එම්. කාසිම් එය සිංහලයට පරිවර්තනය කරනු ලැබීය. එම කවිය සහෝදර පියාපත් කෘතියෙන් උපුටාගෙන පහත දැක්වේ.

බුදුන් ඝාතනය කිරීම
බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමින් සැදුණු
බල සෙනග
උන්වහස්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශ්‍රී දේහය
යාපනය පුස්තකාලයට ඇතුළුවන
පඩිපෙළ ළඟම

ඊයේ අඳුරේම – ඇමතිවරු ආහ
“මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතිං මොන එහෙකටද
මරා දැමුවේ ඔහොම ?”
කිපී ගුගුලහ

“නෑ සර්
වැරැද්දක් නෙවෙයි මේ
උන්වහන්සේගේ ප්‍රාණය නොසිඳ
මැස්සෙකුවත් මරන්නට නොහැකිවෙයි
අන්න ඒ නිසාමයි …”
පිළිවදන් දෙති

“හරි හරි
සඟවන්න වහාම ඔය දේහය”
එසේ කී ඇමතිවරු සැඟවූහ

සිවිල් නිලධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශ්‍රී දේහය
පොත් අනූ දහසකින් සැඟවූහ එය
අනතුරුව
සිඟාලෝවාද සූත්‍රය – දවන්නාහුය

දැවී අළුවිය
ශ්‍රී දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත.

Facebook
Twitter
LinkedIn