පසුගිය වසරේ සීනි ආනයනය කිරීමේදී ආනයනය බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කිරීමේ බදු වංචා සිද්ධිය අභියෝගයට ලක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. එම බදු අඩු කිරීමෙන් පාරිභෝගික ජනතාවට කිසිදු වාසියක් අත්වී නැති බවටද ඔහු සිය පෙත්සමෙන් පවසා සිටියි.
මෙම බදු වංචාවෙන් පුරවැසියෙකු ලෙස තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඔහු සිය පැමිණිල්ල මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතීඥ සුනිල් වටගල, නීතීඥ නාමල් රාජපක්ෂ, නීතීඥ රෙක්සි පියදාස යන නීතීඥයින් එක්වී සිටි අතර පෙත්සම ගොනුකිරීමෙන් පසු මාධ්‍ය ඇමතූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති,
“ගෝටාභය රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව මීට මාස 16කට කලින් බලයට එනකොට තිබුණ ප්‍රධාන සටන් පාඨය තමයි දූෂිතයින්ට හොරුන්ට දඩුවම් දෙනවා විශේෂයෙන්ම මහ බැංකු බැඳුම්කර හොරුන්ට දඩුවම් දෙනවා කියන එක. එදා විපක්ෂයේ ඉඳගෙන මේ ආණ්ඩුවේ නායකයෝ නිතරම කිව්වේ කෝටි 1,100ක බැඳුම්කර හොරකම ගැන. අද ඊටත් වඩා වංචාවක් සීනි ජාවාරම මගින් සිදුවෙලා තිබෙනවා. මේ ජාවාරම මගින් ගෝටාභය රාජපක්ෂ මහත්තයගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුව සහය දුන් විල්මා සමාගමට, වියත් මගේ රැස්වීම් නොමිලයේ තියන්න දුන්න ෂැංග්‍රිලා හෝටලයේ අයිතිකරුට සීනි ගනුදෙනුවට විශේෂ තොරතුරු ලබාදුන්නා කියලා අපිට සැකයක් තිබෙනවා.
ජනතාවට සහන දෙන මුවාවෙන් තමයි මේ ජාවාරම්කරුවන්ට මංකොල්ල කන්න ඉඩ හදල දීල තියෙන්නේ. ඒ නිසා තමයි සීනි නැවක්ම ලංකාවට එන්නේ. රජා එක්ක එකතු වෙලා බදු වංචාවක් කරල තියෙනවා. ජනතාව දැනගන්න ඕනෑ මේ සීනී බදු ශත 25ට අඩු කළ ඔත්තුව මේ ජාවාරම්කරුවන් දැන ගත්තේ කොහොමද ඒ මගින් කෝටි 1,595 වංචා කළාද නැද්ද කියලා. කෝටි 1,595 කියන්නේ නිශ්චිත පාඩුව විතරයි. සතොසට මේ සීනි විකිණීම නිසා ආණ්ඩුවට සිදුවුණ පාඩුව මෙතන නැහැ. ඒ නිසා අවම වශයෙන් මේ කෝටි 1,595 නැවත ආණ්ඩුවට අයකරගන්න කියන්න අපිට වගකීමක් තිබෙනවා.”
නීතීඥ සුනිල් වටගල
“ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියෙන් කියවෙන නීතිය ඉදිරියේ සැමට සමානයි කියන මූලධර්මය උල්ලංඝනය වීම පිළිබඳව. පහුගිය දවස්වල මහත් ආන්දෝලනයකට ලක්වුනා සීනි ආනයනයේදී සිදුවුණ වංචාව. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මගින් හෙළිදරව් වුනා බිලියන 15.9ක පාඩුවක් සිදුවෙලා කියලා. අපි මේ පෙත්සමේ වගඋත්තරකරුවන් කරලා තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති. අපි ඉල්ලීමක් කරල තියෙනවා මහා භාණ්ඩාගාරයට අහිමි වුණ මේ බිලියන 15.9ක් වගඋත්තරකරුවන්ගෙන් අය කරගන්න කියලා.
හොරකමක් කරල නිදහසේ ඉන්න බැහැ. ඒ නිසා අපි කියනවා නීතිපතිට නියෝග කරන්න කියලා මේ වගඋත්තරකරුවන්ගේ තරාතිරම නොබලා අපරාධමය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඉතිහාසයේ දන්නේ අන්දරේ සීනී කාපු හැටි. නමුත් අද ජාවාරම්කරුවන් දෙන්නෙක් එකතුවෙලා රුපියල් බිලියන 15.9ක සීනී කාලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අහිමි වුණු මුදල නැවත අයකර ගනියි කියලා. ඒ වගේම නීතිපතිවරයා තම නෛතික වගකීම හරිහැටි ඉටු කරයි කියලත් අපි විශ්වාසයෙන් ඉන්නවා.”











