ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු දූත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහලේකම් ඇතුළු ප්‍රධානීන් හමුවෙති…

ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු දූත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහලේකම් ඇතුළු ප්‍රධානීන් හමුවෙති…

භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ආරාධනයකට අනුව මේ වනවිට ඉන්දියාවේ අධ්‍යයන සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස සහ භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම් දරන ජාතික මහලේකම් ශ්‍රී බී.එල් සන්තෝෂ් (B.L Santhosh) අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 28 වනදා පැවැත්විණි.

මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය, සංවිධාන ව්‍යුහය මෙන්ම ග්‍රාමීය මට්ටම දක්වා පක්ෂ සාමාජිකත්වය සංවිධානය කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරිණි.

එසේම අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා හා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පවතින අවබෝධය හා සුහදතාව වර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වය අතර මෙහිදී අදහස් හුවමාරු විය.

මෙම සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපති ශ්‍රීමති රෑප්කුමාරි චෞද්‍රි සමඟද, එම පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කරමින් ශ්‍රී විනීත් වත්ස් ත්‍යාගී සහ භක්ති ශර්මා සමඟද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සුහද සාකච්ඡාවල නිරත වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්