“ගත වෙන මොහොතක් පාසා රටේ සියලු ජනතාවගේ ආශිර්වාදය වගේම පූජක තුමන්ලාගේ ආශීර්වාදය ආණ්ඩුව ලබාගෙන සිටින බව මේ රැලියෙන් ඔප්පු වී තිබෙනවා. අපි හොඳ හුස්මක් අරගෙන සහන සුසුම් හෙළන්නට තරම් භාග්යවන්ත වී සිටිනවා. වෙනත් කාලයක නම්, ආණ්ඩුවක් බලයට පත්වී වසර දෙකක් යන කොට ඒ ආණ්ඩුවට ශාපකරන ජනී ජනතාවත් තමයි, අපට දකින්නට ලැබුනේ. අපේ ජනාධිපතිවරයා ඇසුරු කොට ඇති පාර්ලිමේන්තුවේ 159 දෙනාම ඊට වඩා වෙනස් ආකාරයෙන් ගෙන යන ක්රියාමාර්ග ශ්රී ලංකාව පුරා විසිරී ඉන්න සියලුම ජනතාව අගය කරනවා. ගෞරවණීය මහා සංඝ රත්නය සහ අනෙකුත් ආගමික පූජක තුමන්ලා ඒ අතර පෙරමුණේ සිටිනවා. ඒ ගැන අපට ලොකු ආඩම්බරයක්. මේ තරම් විශාල ස්වාමීන්වහන්සේලා පිරිසක් මෙතැනට වැඩම කොට සිටින්නේ ඉමහත් විශ්වාසයෙන්. මේ රටේ යහපත වෙනුවෙන් උන්වහන්සේලා ඇපකැප වෙනවා වගේම රට අපේක්ෂා කරන සාමය සහ සමගිය, දූෂණයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පාලකයන්ගේ ඇපකැපවීම තහවුරු වී අවසන්. විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් පෙරටුකොට ගත් මහා ජනතාවක් මේ ස්ථානයට රැස්වී සිටීම අපට මහත් සතුටක්.” යැයි, සත්කෝරල මහ දිසාවේ ඉහළ දොළොස් පත්තුවේ ප්රධාන සංඝ නායක, විශ්රාමික විදුහල්පති, පූජ්ය මහනෙලුබෑවේ අනුරුද්ධ හිමියෝ අවධාරණය කරති.
ඒ හිමියෝ මේ බව අවධාරණය කළේ පසුගිය 11 වනදා ජනාධිපති අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් නිකවැරටියේදී පැවති, “අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” ජන රැලිය අමතිමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්කෝරල මහ දිසාවේ ඉහළ දොළොස් පත්තුවේ ප්රධාන සංඝ නායක, විශ්රාමික විදුහල්පති, පූජ්ය මහනෙලුබෑවේ අනුරුද්ධ හිමියෝ,
“මේ ආණ්ඩුව පත්වන අවස්ථාවේදී සමහර ඇත්තන් කීවේ පෙරහැර නතර කර, භික්ෂූන් වහන්සේලාට දානය ලබාදීමත් අවසන් කර, ආගමික උත්සව තහනම් කරන බවයි. බොහෝ වැරදි ජන ගත කරමින් මහජනතාව බිය ගැන්වීමට උත්සාහ කළත් ඊට වඩා පිරිසක් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා තනි පක්ෂයක් ලෙස ඉහළම බලයක් ලබාදී වික්රමාන්විතව ප්රතිඵල බුක්ති විඳිනවා.
අතීතයෙහි සිටි පාලකයන්ගේ රුචිකත්වය තිබුණේ තම තමන් සුවපත් වීමටයි. මහජනතාවගෙන් ලබා ගත් බලය යෙදවූයේ ඒ සඳහායි. ත්රාඩ සහ ම්ලේච්ඡ විදිහට ක්රියාකරමින් ජනතාව තමන් වෙත හසුරුවා ගන්න ඔවුන් සමත් වුණා. ඉතාමත්ම ඉහළින් අගය කරන ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව, සහනශීලීභාවය, අවසන් කරන්න රජයේ මුදල් යොදා ගත්තා. අපි ප්රතික්ෂේප කළත් සමාජයට හානිකර වූ එවැනි ක්රියාමාර්ගවලට රටේ ජනතාව විශාල පිරිසක් ගොදුරු වුණා. මත්ද්රව්ය ජාවාරම, දේශපාලන අනුග්රහයෙන් ඉහළම තැනකට ගෙන ගියා.
අතීතයේ අපට අසන්නටවත් නොලැබූ විෂ මත්ද්රව්ය ලංකාවට ගෙනත් ලෝකයටම බෙදා හරින මධ්යස්ථානයක් බවට පත් කළා. පාලකයන් ඒ සඳහා අනුබල දුන් බවට පැහැදිලි සාක්ෂි හමුවී තිබෙනවා. අද මැති ඇමතිතුමන්ලා සහ ආරක්ෂක අංශ ඉතාමත් දක්ෂ ලෙස මත්ද්රව්ය උවදුර පිටුදකින්න කටයුතු කරමින් සිටිනවා. විපක්ෂය වෙනුවෙන් ඇතැම් සුවාමීන් වහන්සේලා පවා ගෙන ගිය බොරු ප්රචාර සියල්ල බොරු කරමින් තිබෙනවා. වෙන කවරදාටත් වඩා උපරිම මැදිහත් වීමෙන් පෙරහැර සංස්කෘතිය පවත්වමින් නවතා දමා තිබූ පෙරහැරවල් පවා ලබාදී ආගමික් පුනර්ජීවනයක් ඇති කරමින් තිබෙනවා. අවුරුදු 12ක් පමණ නවතා දමා තිබූ යාපහුව පෙරහැර නැවත පැවැත්වූවා. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වගේම සියලුම ආගමික පූජක තුමන්ලාගේ වෙනුවෙන් උපරිම මැදිහත් වීමක් සිදුකරනවා. හාමුදුරුවන් වහන්සේලාගේ අම්මා, තාත්තාට ඉන්න හිටින්න නිවහනක් නැත්නම්, නිවහනක් ලබා දෙන්නත් ක්රියාකරමින් සිටිනවා. ආගම දහම ස්ථාවර වුණොත් මේ රටේ සාමය සමගිය ස්ථාවර වී හොඳ ආධ්යාත්මක පෞරුෂයකින් යුත් මිනිසුන් බිහි වෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම පරාජිත කණ්ඩායම් බලයට එන්න විවිධ වැඩ කරනවා. පුංචි පුංචි රැලි පවත්වා ලොකුවට හඬ නඟා කෑ ගහනවා. ඒ වගේම ආගමික බලවේගයන්, ජාතික බලවේගයන් කුපිත කරවා පාරට කැඳවන්න ඔට්ටු වෙන අවස්ථාවක් මේක. ඇප පිට සහ සැක පිට ඉන්න කණ්ඩායම් නීතිය ක්රියාත්මක වෙන කොට පාරට බහිනවා. එදා දවසේදී හාමුදුරවන් වහන්සේලාට දානය නැති වෙන බව කිවු කණ්ඩායම් පාරට බැස ඇති බව පේනවා. අපි හාමුදුරුවන් වහන්සේලාගෙන් සහ ජනතාවට අවධාරණය කරන්නේ පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න අවශ්යතාවක් නැති බවයි. පිකට් බෝඩ් අල්ලා ගෙන අව්වේ තපිමින් උද්ඝෝෂණය කරන්න තරම් දෙයක්, කෑ ගහලා මීඩියා සංදර්ශන තරම් පවත්වන්න දෙයක්, මේ ආණ්ඩුව සිදු කර නැහැ. උද්ඝෝෂණයන්ට පෙරාතුව ජනතාවගේ අයිතිවාසිකම් ලබා දුන් ආණ්ඩුවක් මේක. ජනී ජනතාව ඇතුළු හා ගෞරවණීය හාමුදුරුවන් වහන්සේලා සහ අනෙකුත් පූජකතුමන්ලාට යම් ගැටලුවක් තිබෙනවා නම්, සාකච්ඡා මාර්ගයෙන් අයිතිවාසිකම් දිනාගත හැකි බව ගෙවුණු අවුරුදු දෙක පුරාම මේ ආණ්ඩුව ඔප්පු කර තිබෙනවා. අපි ඒ බව ආඩම්බරයෙන් මතක් කරනවා.
සුළු සුළු කණ්ඩායම් ඇති කළ ප්රශ්න ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා ගෞරවණීය නායක හාමුදුරුවන් වහන්සේලාට ආරාධනා කළා. ඒ සාකච්ඡා සම්බන්ධයෙන් අපි මෙතෙක් ඉතිහාසයේ නොදැකපු ප්රකාශ ජනාධිපතිතුමා කරන ආකාරය අපි දැක්කා. මගේ කට වචනය චක්රලේඛයක් හැටියට බාර ගන්න කියලා අණ කළ පාලකයන් සිටි රටක “මගේ කැමැත්ත, නීතිය බවට පත්වෙනවාට මම කොහොත්ම කැමති නැහැ” කියන්න සමත් වුණා ජනාධිපතිවරයෙක් අපට ඉන්න බව අවධාරණය කරනවා. ඒ ගැන අපට විශේෂ ආඩම්බරයක් තිබෙනවා. අපි බලාපොරොත්තු වන යුක්තිය මෙතන තියනවා නේද කියලා, ගම් දනව්වල පුංචි මිනිසුන් හැටියට අපටත් දැනෙනවා. ජනතාවගේ අභිමතය නීතිය බවට පත් කරන බව ඔප්පු කරමින් ගෙවුණු වසර දෙක පුරා අනාගතයට සමාජයට අත්තිවාරමක් දමා තිබෙනවා. මේ ආණ්ඩුව කරවන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්රමුඛ සියලුම මැති ඇමතිවරුන් හට තුනුරුවණේ ආශිර්වාදය හිමිවේවායි අපි ඉතසිතින්ම ප්රාර්ථනා කරනවා !!!”
























