
Facebook සමාගම විසින් ජංගම දුරකතන යෙදවුමක් වන Whatsapp (Application) සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 19කට මිලදී ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2489 (කෝටි 248900) පමණ මුදලක් වේ. ඩොලර් බිලියන 4 මුදලින් සහ බිලියන 12ක් ෆේස්බුක් සමාගමේ කොටස්වලින් සහ බිලියන 3ක් සීමිත කොටස් ඒකක (Restricted stock units) වලින්ද ගෙවීමට නියමිත බව වාර්තා වේ.
ලෝකයේ සිදුවූ විශාලම ගණුදෙනු අතරින් එකක් ලෙස ඉතිහාස ගතවන මෙම ගණුදෙනුව 2014 ශ්රී ලංකාවේ රජයේ අපේක්ෂිත ආදායම මෙන් දෙගුණයකට ආසන්න මුදලකි.
2009 වර්ෂයේදී ආරම්භ කරන ලද Whatsapp සමාගමේ මේ වන විට සේවකයන් 50 දෙනෙකු සේවය කරයි. එම සේවකයන් සියළු දෙනාද ෆේස්බුක් සමාගම හා එක්වනු ඇති බවත් එම සමාගමේ හිමිකරුද ෆේස්බුක් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට එක් වනු ඇති බවත් Facebook සමාගම පවසයි.
“Whatsapp” යනු මිතුරන් සමග Chat කිරීමේ පහසුකම් ලබාදෙන ජංගම දුරකතන මෘදුකාංගයක් වේ. මේ වන විට WhatsApp භාවිතා කරන පිරිස මිලියන 450ක් පමණ වන අතර දිනකට අළුතින් එකතු වන සාමාජිකයින් ගනන මිලියනය ඉක්මවයි. දිනකට හුවමාරු කරගන්නා කෙටි පනිවිඩ ප්රමාණය බිලියන 10ක් පමණ වන අතර දිනකට ඡායාරූප මිලියන 400ක් පමණ හුවමාරු කරයි.
මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් පිටුවේ අදහස් දක්වමින් ෆේස්බුක් සමාගමේ හිමිකරු මාර්ක් ෂුකර්බර්ග් මෙසේ ප්රකාශ කරයි “ජෑන් සහ Whatsapp කණ්ඩායම මිනිසුන් මිලියන 500ක් එනට සම්බන්ධ කිරීම සඳහා විශිෂ්ට වැඩක් කරලා තිබෙනවා. එම පිරිස Facebook හා සම්බන්ධ වන තුරු මට බලාගෙන ඉන්න බෑ. අපි එකතු වෙලා ලෝකයම එකට එකතු කරනවා.”









