සුසිල්ගේ ඉනිමං බැදිල්ලට CaFFE කිපෙයි

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සාධාරණීකරණය වන ආකාරයෙන් සහ නීති කඩකරන්නන්ට එම නීති කඩකිරීමට අනුබල ලැබෙන ආකාරයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් CaFFE හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය තම අප්‍රසාදය පලකර සිටියි.

“මැතිවරණ නීති උල්ලංගනය වන බවට චෝදනා එල්ල වන නමුත් මනාප අංකය ප්‍රදර්ශනය නොකර මැතිවරණ කරන්නේ කෙසේදැයි” මෙහිදී විමසා තිබේ.

එම ලිපිය පහත පරිදි වේ

“ගරු අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා

මහ ලේකම්

එක්සත්  ජනතා නිදහස් සන්ධානය

301,ටී . බී ජයා මාවත

කොළඹ 10

මහත්මයාණෙනි,

මැතිවරණ නීති උල්ලංගණය කිරීමට අනුබල දෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අසතුට පල කිරීමයි.

2014 පෙබරවාරි 23 වන දින ශ්‍රීලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී  ඔබතුමන් සිදුකළ  ප්‍රකාශයක් සම්බන්ධයෙන් (පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව) කැෆේ සංවිධානයේ අවධානය යොමු වී ඇත.

එහි දී මාධ්‍ය වාර්තා අනුව ඔබ විමසා ඇත්තේ ‘මැතිවරණ නීති උල්ංඝනය වන බවට චෝදනා එල්ල වන නමුත් නමත් මනාප අංකයත් ප්‍රදර්ශණය නොකර මැතිවරණයක් කරන්නේ කෙසේද ? යන්නයි. එමෙන්ම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වත්මන් මැතිවරණ ක්‍රමය නිසා ඇතිවු බව දක්වමින් ඔබ විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සාධාරණීකරණය කොට තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් ඔබ සිදුකළ මෙම ප්‍රකාශය ඒ නිසාම මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂය නිල ස්ථාවරය ලෙස පෙනී යන්නේය.  රටක බලපැවැත්වෙන නීතිය පිළිබද පුද්ගල විවේචණ පැවතිය හැකි නමුත් මැතිවරණයක් කැදවීමෙන් පසුව ඒ වන විට බලපැවැත්වෙන නීතියට අනුව කටයුතු කිරීම දේශපාලන පක්ෂ ඇතුඵ සියඵ පාර්ශයන්ගේ වගකීමකි.

එබැවින් මෙම ප්‍රකාශය  බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මැතිවරණ ක්‍රියාවලියේ නියැලෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ  නීති විරෝධී ක්‍රියාකාරකම්  සෘජු ලෙසම අනුමත කිරීමකි. මැතිවරණයට තරග කරන අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ද මැතිවරණ නීතිය නොතකා කටයුතු කිරීමට දිරිදීමකි.

එමෙන්ම පාර්ලිමේන්තුව සම්මත කොට ඇති නීති උල්ලංගනය කිරීම යුක්ති සහගත කිරීමකි.

වර්තමානයේ බල පැවැත්වෙන මැතිවරන නීතිය යල්පැනගිය අදට නොගැලපෙන එකක් බව කැෆේ සංවිධානය නොයෙක්වර පෙන්වා දී ඇති අපගේ වාර්තා මගින් නිරන්තයෙන් අවධාරණය කළ කරුණකි. නමුත් ශිෂ්ට සම්පන්න රටක නීති ගරුක පුරවැසියන් ලෙස අපට රටේ බල පැවැත්වෙන නීතිය අනුව කටයුතු කිරීමට සිදුව තිබේ.  අනෙක් අතට යල් පැනගිය නීති වෙනස් කිරීම පාර්ලිමේන්තුවට ඇති බලයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද, පක්ෂ මහලේකම්වරයෙකු ලෙස ද ඔබ තුමන් ද ඇතුඵ මහජන නියෝජිතයින් සිදු කළ යුත්තේ යල් පැන ගිය නීති යාවත් කාලීන කිරීම මිස තමන් නියෝජනය කරන දේහපාලන පක්ෂයට වාසි සහගත ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සදහා අපේක්ෂකයින් දිරිගැන්වීම නොවේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම දිරිගන්වන ඔබගේ ප්‍රකාශය පිළිබද කැෆේ සංවිධානය නොසතුට සහ අප්‍රසාදය මෙයින්  පළ කර සිටිමි.

මීට විශ්වාසී

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ – කැෆේ සංවිධානය”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්