අපේ රටේ දේශපාලන දිශානතිය වෙනස් කරන මැතිවරණයක් බවට මෙවර පළාත් පාලන මැතිවරණය පත්ව ඇති බවත් පළාත් පාලන ආයතනවල වැඩ කිරීමට ආණ්ඩු බලය හොබවන පක්ෂයටම බලය ලැබිය යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණෙ ජයග්‍රහණය තහවුරු කරමින් කොග්ගල්ලේ දී පැවති ජනහමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා…
“මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ධාරාව නියෝජනය කළ පිරිස් එකතු වී තියනවා. ඒ අන් කිසිවක් නිසා නොව පැහැදිලි වෙනසක අවශ්‍යතාවය රටට තිබෙන හෙයින් එම වෙනස සිදුකිරීමට සුදුසුම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව අද මේ රටේ උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ගමේ ජනතාවත් තේරුම්ගෙන තිබෙනවා.
අපි යන සෑම රැස්වීමකම, සමුළුවලට සහභාගි වෙනවා වාගේ එකතුවන විශාල පිරිස් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් නොවන බව අපි දන්නවා. එහෙත් මෙවර ඒ අයගේ ඡන්දය ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ඉදිරියෙන් සළකුණු කරන්න සූදානමින් සිටින අය බව අපි ඉතා වගකීමෙන් කියනවා.
ආණ්ඩු බලය නැති පක්ෂයකට පළාත්පාලනවල බලය ලබා දීමෙන් පළක් නොවන බවට පුහු මතයක් ගොඩ නගාගෙන යනවා. මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ. කිසි ලෙසත් පළාත් පාලන ආයතනවල වැඩ කරන්න ආණ්ඩු බලය අවශ්‍ය වෙන්නේ නැහැ. එසේ අවශ්‍යවන්නේ හොරකම් කරන අයට ඒවා වහගන්න. අපට එහෙම අවශ්‍යතාවයක් නොමති නිසා ආණඩු බලය නැතුව ප්‍රාදේශීය සභා පාලනය කිරීමට හැකි වෙනවා අපි කරලා පෙන්නුවා. මේ රටේ පළාත් පාලන ආයතන 341 තියනවා. කා අතරත් මතක තිබෙන ප්‍රාදේශීය සභාව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවයි.
අපි ආණ්ඩු බලය නොමැතිව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය අරගෙන වැඩ කරලා පෙන්නුවා. සාමූහිකත්වය තුළින් වැඩ කරන්න හැකි බව එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙන් අපි පෙන්නුවා. මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද තිස්සමහාරාමය, අම්බලන්තොට, සූරියවැව ඇතුළු සභා රැසක බලය අපට ලබා ගැනීමට හැකි වෙනවා.
මෙතෙක් මෙම රටේ පැවති සෑම මැතිවරණයකින්ම ජනතාව පරාජය වූවා. එහෙත් මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරනයෙන් මේ රටේ ජනතාව පරාජය නොවී ජයග්‍රහණය හිමි කර ගන්නවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ වැඩිම ආසන සංඛ්‍යාවක් මේ රටේ ජයග්‍රහණය කරමින් පළාත් පලන ආයතන සඳහා වැඩිම පිරිසක් නියෝජනය කරමින් තේරී පත් වීම ජනතා ජයග්‍රහණයක් වෙනවා. එම නිසා මෙම මැතිවරණය මෙම රටේ දේශපාලන දිශානතිය වෙනස් කිරීමේ මැතිවරණයක් බවට ඉතිහාසගත වෙනවා.
මනාප නැති මෙම මැතිවරණය මනාප ඉල්ලපු අයට දැන් ගැටලුවක් වී තිබෙනවා. මනාප තියෙද්දිත් මනාප ඉල්ලන්නේ නැතුව අපි මැතිවණයට මුහුණ දුන් නිසා අපට මෙම මැතිවරණය අමුත්තක් නැහැ.
අපි මැතිවරණයේදී සීනුව ලකුණ යටතේ තරග කළා මෙවරත් එසේමයි. මෙදා මැතිවරණයට මනාප නැති හෙයින් සීනුව ඉදිරියෙන් කතිරය ගැසූවිට අපේක්ෂකයන්ගේ ජයග්‍රහණයට වඩා ජනතාවගේ ජයග්‍රහණය ලැබෙනනවා.
පර්ලිමේන්තුවේදී හොරා හොරා කියලා දෙපැත්තටම කියා ගත්තා. හොරා නොකාපු එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ.”










