කලාපීය දේශපාලන පක්ෂවල මාධ්‍ය ක්‍රියාකාරී තරුණ නායකයින් සඳහා සැප්තැම්බර් 14 සිට 23 දක්වා චීනයේ බීජිං, ෂැංසි සහ සේජියැං යන පළාත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “New Media-New Life” පුහුණු වැඩමුළුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශකටයුතු දෙපාර්තමේන්තුවේ ආරාධනාවක් මත ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ තරුණ නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වී සිටිති.
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය නියෝජනය කරමින් ධනුක සඳරුවන් සහ විමුක්ති යසස් යන දෙදෙනා සහභාගී වී සිටිති. “ගෝලීය දැනුම සම්ප්‍රේෂණය සඳහා, තාරුණ්‍ය බලමුළු ගැන්වීමේ චීනය සහ විදේශ රටවල් අතර තරුණ කතිකාව” තේමාවෙන් සැප්තැම්බර් 16 වන දින චීන අන්තර් මහද්වීපික සන්නිවේදන මධ්‍යස්ථානයේදී කථිකාවක් පවත්වා තිබේ. එහිදී “අන්තර්ජාතික දේශපාලන පක්ෂ අතර මාධ්‍ය සහයෝගීතාව” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය කමිටු සාමාජික විමුක්ති යසස් අදහස් පල කර ඇත.
එම කථිකාව අතර තුර චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති සන් හයියන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවකටද ඔවුන් එක් වී ඇත.
දේශපාලන පක්ෂ මාධ්‍ය කමිටුවල තරුණ නායකයින්, ප්‍රකාශන කර්මාන්තයේ නියෝජිතයින් සහ චීනය, මැලේසියාව, ලාඕසය, ටජිකිස්තානය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක විශේෂඥයින් සහ විද්වතුන් මෙම අවස්ථාවට සහභාගී කරවා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශකටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.















