විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුළුවට ධෛර්යය රැගෙන හසලක ගාමිණීගේ අම්මාත් පැමිණෙයි

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුළුවට ධෛර්යය රැගෙන හසලක ගාමිණීගේ අම්මාත් පැමිණෙයි

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහියංගණ ආසන සමුළුව ඊයේ (03) මහියංගණයේදී පැවති අතර එම අවස්ථාවට හසලක ගාමිණී සෙබළාගේ මවද සහභාගී වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්න සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් යොදා තිබිණි.

එම සටහන පහතින් උපුටා දැක්වේ,

“යුද්ධය හා අම්මා…….

හසලක ගාමිණී සොයුරාගේ අම්මා…

යුද්ධයක දී මැරි මැරී උපදින, විඳව විඳව ජීවිතය ගෙවන ප්‍රධාන වින්දිතයෙක් වන්නේ අම්මාවරුන්ය. තිස් වසරක යුද්ධයේ දී එලෙස වින්දිතයන් වූ උතුරේ ද දකුණේ ද අම්මාවරුන් අතර හසලක ගාමිණී සොයුරාගේ අම්මා රටේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ගෞරවයට පාත්‍ර වන අම්මා කෙනෙකු වන්නේය. “අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහියංගණ ආසන සමුළුවට” හසලක ගාමිණී සොයුරාගේ අම්මා ද පැමිණියේ ය. යුද්ධය විසින් ජීවිත ලක්ෂ ගණනින්, දේපළ ප්‍රකෝටි ගණනින් රටකට අහිමි වී ඇත. එවැනි යුද්ධයකට පසුබිම හැදු දේශපාලනය විසින් මෙම මාතෘ භූමියද මේ වනවිට දැඩි ඔත්පළ තත්ත්වයකට බිඳ වට්ටා ඇත.

අපගේ දූ දරුවන් හා අනාගතයේ උපදින දූ දරුවන් වෙනුවෙන් සාමය රජයන, ආර්ථික සමෘද්ධිය රජයන , සාධාරණය යුක්තිය ඇති මනුසත් භාවය පෙරටු කරගත් අභිමානවත් රටක් ගොඩනැඟීමේ උත්තුංග කාර්යභාරය වෙනුවෙන් ඒ අම්මාගේ ශක්තිය ද එකතු වීම බලවත් සතුටකි..”

මෙම සමුළුව සඳහා හිටපු නැගෙනහිර ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නාවික හමුදාවේ විශ්‍රාමික රියල් අද්මිරාල් ප්‍රේඩ් සෙනෙවිරත්න, ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත්, යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක විජේසිංහ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පිහිටාධිපති මහාචාර්ය රුවන් රණසිංහ, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සුදත් බලගල්ල, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා විධායක සභික නීතිඥ උපේක්ෂා විජයතුංග, අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් සේනක ප්‍රනාන්දු, අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක නාවික හමුදාවේ කමාන්ඩර් බණ්ඩාර විස්සුන්දර ඇතුළු මහියංගණ ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල පිරිසක්ද ඊට එක්වී සිට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්