කොළඹ මහ නගර සභාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරියක් විසින් එම පක්ෂයේම මන්ත්රී ප්රදීප් ජයවර්ධනට ඊයේ (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමකදී මිරිස්කුඩු මිශ්ර කුණුබිත්තර ප්රහාරයක් එල්ල කර තිබේ.
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවකදී පවත්වා ඇති අතර මෙම කුණු බිත්තර ප්රහාරය එල්ල කර ඇත්තේ එම ඡන්ද විමසීමෙන් අනතුරුවය.
පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපතිධුරය ලබා ගැනීමට ඉදිරිපත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන අතර උණුසුම් තත්වයක් හටගෙන තිබී ඇත.
ඒ සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ප්රදීප් ජයවර්ධන ඡන්ද 04ක්ද සමන් අබේගුණවර්ධන ඡන්ද 02ක්ද වශයෙන් ලැබී ප්රදීප් ජයවර්ධන ජයග්රහණය කර තිබේ.
පරාජයටපත් සමන් අබේගුණවර්ධනගේ සමීපතම මන්ත්රීවරියක එහිදී මෙම කුණු බිත්තර ප්රහාරය එල්ල කර ඇතැයිද වාර්තාවේ.
රහස් ඡන්ද විමසීමේ ප්රතිඵල ප්රකාශයට පත්කිරීමත් සමග මන්ත්රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප්රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව එම අවස්ථාවේ සිටි නාගරික මන්ත්රීවරයෙකු පවසා ඇත.
බෑගයක් වැනි දෙයක් ප්රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බවද ප්රදිප් ජයවර්ධන මන්ත්රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බවද ඔහු කීය.
කුණු බිත්තර ප්රහාරය එල්ල කිරීමෙන් පසුව නාගරික මන්ත්රීවරුන් දෙපිරිසකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් ඝෝෂා කරගෙන ඇත.
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මැදිහත් වී සිද්ධිය සමථයට පත් කර තිබේ.
මන්ත්රී ප්රදීප් ජයවර්ධන සිද්ධිය සම්බන්ධයෙන් නාගරාධිපතිනි රෝසි සේනානායකට සහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකර ඇතැයිද වාර්තාවේ.
මන්ත්රී ප්රදීප් ජයවර්ධන හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ මුණුපුරෙකි.










