වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවට වසරක් ගතවන විට කැලෑ අක්කර දසදහසකට අධික ප්රමාණයක් ඩෝසර් කර එළි පෙහෙළි කර ඇතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සංජය විශ්වනාත් අනාවරණය කරයි.
ඔහු මේ බව අනාවරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්ය හමුවක් අමතමිණි.
මෙම මාධ්ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන අමරසිංහද එක්වී සිටියහ.
ඔහු එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්…
“මේ ජනාධිපතිවරයා ගමන ආරම්භ කළේ තමන්ගේ නිවසේ පැළයක් සිටුවලා. නමුත් බලය ගත්තට පස්සේ මුලින්ම කළේ පස්වැලි ප්රවාහන බලපත්ර ඉවත් කරලා, රක්ෂිත අවශේෂ කැලෑ සඳහා තිබුණ චක්රලේඛ ඉවත් කරලා පරිසර විනාශයට පාර කපන එක. මේ අවුරුද්දක් ගෙවෙන විට අපේ රටේ ඉතිහාසය වැඩිම වේගයෙන් පරිසර විනාශ කළ අවුරුද්ද බවට පත්වෙලා.
ආනවිලුන්දාවේ අක්කර දෙකක රැම්සා තෙත් බිම් ඩෝසර් කරලා දැම්මා. වනාතවිල්ලුව අක්කර 10ක්, ගල්වලයාය පොල්ලේ බැද්දේ ආදිවාසීන්ට අයත් රක්ෂිතයේ අක්කර 5,426ක් මේ වෙද්දි කපලා විනාශ කරලා තිබෙනවා. විල්පත්තුවේ අක්කර 1,500ක් කෝමාරිකා වවන්න ආණ්ඩුවේ හිතවතෙකුට ලබාදීලා.
හොරොව්පතානේ රත්මලේ රක්ෂිතයෙන් අක්කර 150ක් හෙළිකරන්න අවසරල දීලා. එස්.එම් චන්ද්රසේන ඇමතිගේ අනුදැනුම මත තමයි මේ විල්පත්තුවේ සහ රත්මලේ කැලෑ කපන්නේ. දහයියාගල රක්ෂිතයේ අක්කර 1000කට වැඩි ප්රමාණයක් මේ වනවිට විනාශ කරලා. දකුණු ආසියාවේ තිබෙන එකම නාගරික තෙත්බිම වන මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක් වෙනත් ව්යාපෘති සඳහා ලබාදීල. කුරුණෑගල රජපිහිල්ල උද්යානයේ අක්කර දෙකහමාරක භූමියක් විනාශ කරලා. සීගිරිය පාමුල අගුඩණ්ගාව ප්රදේශයේ අක්කර දහයක ප්රමාණයක් දේශපාලන හිතවතුන් විසින් ඩෝසර් කරලා. සිංහරාජය මැදින් ලංකාගමට යන්න පාරක් පුළුල් කළා ජනාධිපතිවරයාගේ නියෝගයෙන්. සිංහරජයේ ගෝටියාගමට යාබද අලිමංකඩේ අක්කර අටක ප්රමාණයක් විනාශ කරමින් තිබෙනවා. විමලවීර දිසානායක ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් ජලගැලුම් නිම්නයේ යක්පුරයට කිලෝමීටර් 13ක පාරක් හදන්න යනවා විශාල පරිසර විනාශයක් සිදුකරමින්. හම්බන්තොට යෝජිත අලිකළමනාකරණ රක්ෂිතයේ අක්කර 150ක් රාජපක්ෂ හිතවතුන් විසින් විනාශ කර තිබෙනවා. කළුවරගස්වැව තබ්බෝවේ අක්කර 21ක් විනාශ කරලා දැම්මා. තණමල්විල කෝදාගොඩ අක්කර 10ක් විනාශ කරලා තියෙනවා. මීට අමතරව මේ ආණ්ඩුවේ ප්රාදේශීය දේශපාලකයෝ, ව්යාපාරිකයෝ මැදිහත් වෙලා රට පුරා විශාල පරිසර විනාශයක් සිදුකරමින් තිබෙනවා. ඉහතින් සඳහන් කළ ප්රදේශවල පමණක් අක්කර 10,000ක පමණ ප්රමාණයක් මේ වනවිට ඩෝසර් කරලා තිබෙනවා.
වත්මන් පාලනය බලයට ගේන්න වියත්මඟ විශාල කාර්යභාරයක් කළා. ගහක් වගේ නායකයෙක් බලයට ගේනවා කිව්වා. ගහක් වගේ නායකයා අපේ රටේ ගස්කොලන්, පරිසරය විනාශ කරමින් තිබෙනවා. ජනාධිපතිවරයාගෙන් අපි අහනවා වියත් මගෙන් උපදෙස් ගන්නේ නැද්ද කියලා. සෞභාග්යයේ දැක්මේ කියනවා පරිසරය 30%කින් වැඩි කරනවා කියලා. නමුත් ඇත්තට සිදුවෙන ක්රියාවලිය ඉතාම කණගාටුදායකයි. රතු දත්ත පොතේ සඳහන් වෙන අපේ රටේ තිබෙන එකම ගහ ගලවලා ගිහින් වෙන තැනක හිටවන්න කතා කරනවා.
සංවර්ධනය කියන්නේ කොන්ක්රීට් බිල්ඩින් ඉදිකරන එක නෙවෙයි. විවිධ නම්වලින් කරන ව්යාජ සංවර්ධන වහාම නතර කළ යුතුව තිබෙනවා. අනාගතයට අයිති පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි කියනවා. මේ අවනීතික පාලනයට එරෙහිව අපි තරුණ තරුණියන් පෙළගස්වනවා. ඒ වගේම මේ පරිසර විනාශයට එරෙහිව රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙනවා. පරිසරයට ආදරය කරන සියලුම ජනතාවට තරුණ තරුණියන්ට මේ උද්ඝෝෂණ මාලාවට සහභාගිවෙන්න කියලා ඉල්ලනවා.









