වසර 10ක පමණ කාලයක් සාකච්ඡා මට්ටමේ පැවති ව්‍යාපෘතියක් තමයි අද මේ යථාර්ථයක් බවට පත්ව තිබෙන්නේ – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

වසර 10ක පමණ කාලයක් සාකච්ඡා මට්ටමේ පැවති ව්‍යාපෘතියක් තමයි අද මේ යථාර්ථයක් බවට පත්ව තිබෙන්නේ – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳ ගැටලු රැසක් පසුගිය කාලය තුළ මතුව තිබූ බවත් අද මේ යථාර්ථයක් බවට පතිවෙමින් තිබෙන්නේ, පසුගිය වසර 10ක පමණ කාලයක් සාකච්ඡා මට්ටමේ පැවති ව්‍යාපෘතියක් බවත් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ  නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) ආරම්භ වූ උත්සව සභාව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර,

“ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳ ගැටලු රැසක් පසුගිය කාලය තුළ මතුව තිබුණා. පසුගිය වසර 10ක පමණ කාලයක් සාකච්ඡා මට්ටමේ පැවති ව්‍යාපෘතියක් තමයි අද මේ යථාර්ථයක් බවට පත්ව තිබෙන්නේ.

ජයිකා ආධාර යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘති රැසක් පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නැවති තිබුණා. ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කරමින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ගත් පියවර නිසා තමයි අද මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ වගේම ජයිකා සහාය ඇතිව මෙම රෝහලේ ක්‍රියාත්මක කෙරෙන දෙවන ව්‍යාපෘතිය මෙයයි.

පසුගිය වසර දෙක තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විවිධ ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් දිට්වාවලින් පසුව විශාල මුදලක් වැය කරමින් ව්‍යාපෘති සිදු කළා. මෙම ව්‍යාපෘතිය ත්‍රිකුණාමලයට පමණක් නොව සමස්ත නැගෙනහිර පළාතටම විශාල සේවයක් ලබා දෙයි කියා අපි විශ්වාස කරනවා.”

ප්‍රදේශයේ ආගමික නායකයින්ද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර ඇතුළු පළාතේ මහජන නියෝජිතයින්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ රාජ්‍ය නිලධාරින්ද, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත Shigeo Honzu යන අයද, රෝහල් අධ්‍යක්ෂ සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්