ලොව ඉහළම තැන සිට ශ්රී ලංකාවේ ධජය ලෙලවීමට හැකිවීම තමන් කුඩා කළ සිට දුටු සිහිනයක් සැබෑකරගැනීමක් බවත් අවස්ථාවක් ලබාදෙන්නේ නම් කාන්තාවන්ට මෙන්ම ගැහැණු ළමුන්ට ඕනෑම දෙයක් කළ හැකි බව ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාල පැවසයි.
කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (30) පැවති මාධ්ය හමුවක් අමතමිනි ජයන්ති කුරුඋතුම්පාල මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඇය පවසන්නේ එවරස්ට් කන්ද තරණය කිරීමේදී අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වූ බවය. තමන්ට එහිදී ශාරීරික අභියෝගවලට වඩා මානසික අභියෝග රැසක් ජයගැනීමට සිදුවූ බවත් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීම නිසා සියලු අභියෝග ජයගෙන එවරස්ට් තරණය කිරීමට හැකිවූ බවත් පැවසුවාය.
“කඳු මුදුනට ළඟා වූ පළමු ශ්රී ලාංකිකයා වීම ගැන කාන්තාවක වශයෙන් මා අතිශයින් ම ආඩම්බරවන අතර එය මට ගෞරවයක්” බව ද ඇය කීවාය.
මෙම ගමන අතරතුර ආහාර හා ජලය ලබාගැනීම, ඔක්සිජන් වායු ටැංකි සමග විශාල මල්ලක් එල්ලා ගනිමින් ගමන් කිරීම, ඔක්සිජන් ටැංකියට සම්බන්ධ වී නිදා ගන්නට සිදුවීම, වැසිකිලි පහසුකම් ලබාගැනීම, කුම්බු අයිස් ඇල්ල හා කුම්බු පාලම තරණය කිරීම ආදී කටයුතු සියල්ල අසීරු වූ බවද ඇය පැවසුවාය.
ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් යන කඳුනගින්නන් දෙපළ ශ්රී ලංකාව නියෝජනය කරමින් එවරස්ට් කන්ද තරණය කිරීමට එක්වූ අතර අප්රේල් මාසයේදී කන්ද නැගීම ඇරඹූ කණ්ඩායමේ සිටි ජයන්ති අඩි 29,029ක් තරණය කරමින් මැයි මස 21 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 5.00 ට පමණ ශ්රී ලංකා ධජය කඳු මුදුනේ එසැවූවාය.
ඇය සමග එම උත්සාහයේ ම යෙදුනු යොහාන් පීරිස්, එදින අඩි 27,559 ක උසක් සාර්ථක ලෙස තරණය කළේය. මේ අනුව ජයන්ති සහ යොහාන්, වැඩිම උස ප්රමාණයක් තරණය කළ පළමු හා එකම ශ්රී ලාංකිකයින් දෙපළ බවට පත්වූහ.
මාධ්ය හමුවේදී අදහස් දක්වමින් යොහාන් පීරිස් මහතා පැවසුවේ, අසීරු සිහිනයක් පිළිබඳ සිහින දැකීම ඉතා පහසු කාර්යයක් වුවත්, සිහිනයේ රැඳී සිටිමින් එය සැබෑකරගැනීමට හැකිවීම සැබෑ ජයග්රහණයක් බවයි.
එවරස්ට් කඳු මුදුනටම නැගීමට තමන්ට නොහැකි වුවත් එහි බොහෝ දුරක් තරණය කරන්නට ලැබීම ගැන සතුටු වන බව ද ඔහු කීවේය.











