ආණ්ඩුව ආරක්ෂක අංශ යොදාගෙන නීති විරෝධී නිදන් හෑරීම්, මංකොල්ල සිදුකරනවා – බිමල් රත්නායක

අද (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයට අයත් හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදාගනිමින් දිගින් දිගටම පවත්වාගෙන යන නිදන් හෑරීමේ, මංකොල්ල සහ සුදුවෑන් පැහැරගැනීම් පිළිබඳව අදහස් පළකළේය.

”දැනට වසර කීපයක ඉඳන් රටපුරාම සංවිධානාත්මකව නිදහන් මංකොල්ලයක් පවතින බව සමාජය දැනගෙන හිටියා. ඒ පිටුපස ආරක්ෂක අංශ සහ ඉහළම දේශපාලන බලවතුන් සිටින බව මහජනතාව හදුනාගෙන සිටියා. ඊයේ උදේ (02) විලච්චියේ සිදුකළ නිදන් මංකොල්ලයට විශේෂ කාර්ය බලකායේ සොල්දාදුවන්, බැකෝ යන්ත්‍ර, ටී 56 ගිණි අවි යොදාගෙන තිබුණා. ප්‍රදේශයේ ජනතාව ඔවුන් වටකිරීමෙන් මෙච්චර කල් හොර රහසේ කරගෙන ගිය නිදන් මංකොල්ලය ගැන සාක්ෂි සහිතව ඔප්පු වුණා” යනුවෙන් පැවසීය.

බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ කෞතුකාගාරය හොරු කැඩීම පිටුපස එක්තරා ඇමතිවරයෙකු සිටින බව හෙළිවී තිබුණා. නමුත් ඒ පරීක්ෂණ අඩාලවෙමින් පවතිනවා. පහුගිය කාලයේ ග්‍රීස් යක්කු ගැන ප්‍රචාරය කර රට පුරා නිදන් මංකොල්ලය සිදුකළේ ජනාධිපති සහ ඇමතිවරුන්ගේ ආරක්ෂක ඒකක බව සමාජයේ කතාබහට ලක්වුණා. නිදන් හෑරීම, කුඩු ජාවාරම, පාතාල ආර්ථීකයන් පවත්වාගෙන යෑම රජයට සම්බන්ධ ඉහළම පුද්ගලයන්ගේ මෙහෙයවීම යටතේ සිදුකෙරෙන බව සනාථ කිරීමට මීටත් වඩා සාක්ෂි අවශ්‍ය නැහැ.

සුදුවෑන් භීෂණය මෙහෙයවන්නේ ජනාධිපතිවරයා යටතේ තිඛෙන නිල ආරක්ෂක ආයතනවලින් බව කොළොන්නාව සුදු වෑන් සිද්ධියෙන් හෙළි වුණා. කොළොන්නාව නගර සභා සභාපති පැහැර ගැනීමට පැමිණි කණ්ඩායම ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් සුදුවෑන් පිටුපස ක්‍රියාත්මක බලවේග හෙළිදරව් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මොන දේ කීවත් ආරක්ෂක අංශ සහ සුදු වෑන් භීෂණය, නිදන් මංකොල්ලය තවදුරටත් වසන් කරන්න බැහැ යනුවෙන් බිමල් රත්නායක මහතා පැවසීය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්