ආණ්ඩුවේ දැක්මක් නැති ආර්ථිකය කිරි ආනයනයට රු.මි.88172ක් වැය කරනවා – අනුර දිසානායක

ආණ්ඩුවේ සැලැස්මක් සහ දැක්මක් නැති ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියල් මිලියන 88172ක කිරි පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට වැය කරන අතර මෙරට කිරි ගොවියාට තම කිරි ටික විකුණාගත නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පා.ම. අනුර දිසානායක මහතා අද (03) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

රටේ මුළු කිරි අවශ්‍යතාවයෙන් 80%ක් පමණ ආනයනය කරන අතර මෙරටින් නිෂ්පාදනය කරනු ලබන 20%ක ප්‍රමාණය සපයන කිරි ගොවියන්ට කිසිදු පහසුකමක් ලබානොදෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. දේශීය කිරි නිෂ්පාදනයෙන් 60%ක් පමණ මිලදී ගන්නා රජයේ මිල්කෝ සමාගම බිඳවැටීමට ඉඩ හැරීමේ කි්‍රයාවලියක් දියත්වී ඇති බවට ද ඔහු චෝදනා කළේය. එහි එක් පියවරක් වශයෙන් මිල්කෝ සමාගමේ සභාපති ධූරයට නෙස්ලේ සමාගමේ සේවය කළ කර්මාන්ත කළමනාකරුවෙකු පත් කර ඇති බවද උප සභාපති ධුරයට ආණ්ඩුවේ පරාජිත මන්ත්‍රී ධූර අපේක්ෂකයෙකු වන සංජය ලීලාරත්න මහතා පත්කර ඇති බවද හෙළි කළේය. මිල්කෝ සමාගමේ ප්‍රධානීන් දෙදෙනා පත්කිරීමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ උවමනාව කුමක්දැයි නිරූපනය වන බව කීය.

2009 වසරේදී මෙටි්‍රක් ටොන් 62475ක්ද 2010 වසරේදී මෙ.ටො. 72547ක්ද 2011 දී මෙ.ටො. 88172ක්ද කිරි නිෂ්පාදන ආනයනය කර ඇති බවද සඳහන් කළේය. ඒ වෙනුවෙන් දරා ඇති මුළු වියදම පිළිවෙලින් 2009 සිට රුපියල් මිලියන 18090, රුපියල් මිලියන 27982යි, රුපියල් මිලියන 36530ක් වශයෙන් පැවැති බව හෙළි කළේය.

දේශීය මුළු කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් කිරි ගොවියා ආරක්ෂා කරනවා වෙනුවට මිල්කෝ රාජ්‍ය ආයතනය පුද්ගලීකරණය කිරීම අහම්බයක් නොවන බවද එය රජයේ සමස්ත ආර්ථීක සැලැස්මට අනුව සිදුකරන්නේ යැයිද මේ නිසා දේශීය කිරි නිෂ්පාදකයාට තම නිෂ්පාදන ගඟට හෙලීමට සිදුවී ඇති බවද පෙන්වා දුන්නේය. මෙම සමස්ත කි්‍රයාවලිය කිරි මෙන් සුදු පාට නොවන්නේ යැයි ද එළඹ ඇති අනතුර නිසි පරිදි තේරුම් ගැනීම ජනතාවගේ වගකීම බවද සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්