අයිතීන් දිනාගැනීමට වසරේ පළමු දින සිට යළි සටනට

2013 වසර ආරම්භක දිනයේදීම තම අයිතීන් දිනාගැනීම වෙනුවෙන් අරගල කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සූදානම් වන බව වාර්තාවේ.

ඒ පිළිබඳව පැහැදිලි කරන එම මධ්‍යස්ථානය ලේකම් සමන්ත කෝරළේආරච්චි මහතා ‘‘ඉහළ යන ජීවන වියදමට අනුව රාජ්‍ය, පෞද්ගලික, වතු සේවක වැටුප් වැඩිවිය යුතු බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ගෙන යන සටන මේ වනවිට තීව්‍ර වෙමින් පවතී. ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ආණ්ඩුව විසින් මෙතෙක් නොගෙවා පැහර හරින ලද රු. 13442. 50 ක මුදලකින් සේවක වැටුප් වැඩි විය යුතු බවට එම මධ්‍යස්ථානය මගින් ගෙන ගිය වැටුප් සටන හමුවේදී පවා අයවැය මගින් සාධාරණ සේවක වැටුප් වැඩිවීමක් සිදු නොකිරීම හේතුවෙන්  සටන නව මාවතකට විවෘතව ඇත.

එබැවින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් මේ පිළිබඳව රාජ්‍ය, පෞද්ගලික, වතු සේවකයින් සටන් පෙරමුණකට ඒකාබද්ධ කිරීම සඳහා දැනුවත් කරන අත් පත‍්‍රිකා දශ ලක්‍ෂයක් බෙදා හැරීමේ ව්‍යාපාරයක් 2013 වසරේ ජනවාරි 01 වැනි දින රට පුරා ආයතන ඉදිරිපිටදී සංවිධානය කොට ඇති බවත් ඒ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා සහභාගී වන අවස්ථාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිත බවයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්