IMF වෙතින් තවත් ණය ගන්නවා – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අමුදලෙන් (IMF) තවත් ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ පිළිබඳව වන සාකච්ඡා ලබන ජනවාරි මැද වනවිට ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

මහ බැංකුව මේ වසර මැද වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.49ක් ලබාගෙන තිබුණි.

මෙම ණය ගැනීම් හරහා රටක් ලෙස ලංකාව බරපතල අර්බුද රැසකට පත්වන බව ආර්ථික විශේෂඥයෝ පවසති. මීට පෙර IMF වෙතින් ණය ලබාගැනීමේදී ආණ්ඩුව එකඟවූ කොන්දේසි අනුව දැනටමත් සුභසාධන සහ සේවාවලින් ආණ්ඩුව ඈත්වෙමින් සිටීම හේතුවෙන් එම ක්ෂේත්‍ර බරපතල අර්බුදයකට පත්ව ඇත. එවන් තත්වයක් තුළ නැවැත IMF වෙතින් ණය ලබාගැනීමේදී එහි කොන්දේසිවලට යටත්වීමට සිදුවන බැවින් තව තවත් රටක් ලෙස බරපතල අර්බුදයකට පත්වන බව ඔවුහු පවසති.

එසේම මෙම ණය ගැනීම් වැඩිවී ඇති ආකාරය පිළිබඳව විස්තර කරන ඔවුන් පෙන්වා දෙන්නේ රටක් ලෙස ලංකාව මේ වනවිටත් විශාල විදෙස් ණය බරක හිරවී ඇති බවය. ඒ අනුව පසුගිය 2000 වසර වනවිට විදේශ ණය ප්‍රමාණය පැවැතියේ ඇමරිකානු ඩොලර් බිලියන 9කි. එම තත්වය 2009 වනවිට දෙගුණයකින් ඉහළ ගොස් තිබුණු අතර මේ වනවිට පසුගිය වසර තුනක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 27ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙවන් තත්වයක් තුළ IMF වෙතින් නැවැත ණය ගැනීමට සූදානම්වීම යනු ඉතාම බරපතල තත්වයක් බව ඔවුහු පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්