ශෂීන්ද්‍රග් ප්‍රෙජෙක්ට් එකට A/L සිසුන් බිලි – CTSU

ඌව පලාත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහන් පසෙකලා ඌව පලාත් මහ ඇමතිගේ දේශපාලන ප‍්‍රතිරූපය ගොඩ නැංවීමේ ව්‍යාපෘතියට පාසල් සිසුන් යොදාගැනීම තම සංගමය ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකින බව ලංකා ගුරුසේවා සංගමය පවසා සිටී. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

“අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙවර අ.පො.ස. උ/පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ගේ ප‍්‍රතිඵල ඉහල නැංවිම සඳහා දිවයින පුරා පාසල්වල උසස්පෙළ සිසුන්ට CD තැටියක් මගින් එවා මුද්‍රණය කර ගැනීමට ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදී ඇත. ඒ සඳහා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් මගින් විදුහල්පතිවරුන්ට ජූනි 24 සිට කි‍්‍රයාත්මක වන ලෙස කාලසටහනක් එවා ඇත.

එම ලිපිය අනුව ඌව පාලතේ උසස්පෙළ පංති පැවැත්වෙන පාසල් අදාල ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කරවාගෙන සිසුන්ට ලබාදී කී‍්‍රයාත්මකව සිටියදී එම ප‍්‍රශ්නපත‍්‍රවලට පිළිතුරු ලිවීම නවතා අදාල සිසුන් ඌව පලාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප‍්‍රතිරූපය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කරන සිප්සර උදාන සම්මන්ත‍්‍රණ සඳහා අනිවාර්යෙන් සහභාගී කරවන ලෙස නියෝගයක් හදිසියේ ලැබී ඇත. මේ නිසා අදාල පාසල්වල විදුහල්පතිවරු ගුරුවරු හා විභාගයට සූදානම් වෙමින් සිටින සිසුන්ද මහත් අසීරුතාවයකට පත්ව ඇත.

මෙතෙක් පැවති සම්මන්ත‍්‍රණ සඳහා සිසුන් සහභාගීවිම අඩුවිම නිසා අසාර්ථකවීම හේතුවෙන් මහ ඇමතිවරයා කලාප අධක්‍ෂවරුන් මගින් මෙම නියෝගය කර ඇත. ඌව පලාත් සභාවේ මුදල් රුපියල් ලක්‍ෂ 50ක් මෙම සිප්සර උදාන වැඩසටහන් සඳහා වෙන්කර ඇති අතර ඌවේ අධ්‍යාපන ජයග‍්‍රහණ සියල්ල මෙම සම්මන්ත‍්‍රණ නිසා සිදුවන බව මෙම වැඩසටහනේ නිකුත් කරණ ප‍්‍රකාශණවල හුවා දක්වා ඇත.

පසුගිය වසරවලදීද මෙම සම්මන්ත‍්‍රණ සඳහා සිසු සහභාගීත්වය අඩුවීම නිසා 12 ශ්‍රේණිවල සිසුන් රැගෙනගොස් සම්මන්ත‍්‍රණවලට සිසුන් සහභාගීවූ බවට පෙනුම සදාගෙන ඇත. එහෙත් මෙවර 12 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග පැවැත්වෙන බැවින් පෙර වසරවල මෙන් 12 ශ්‍රේණි සිසුන්ද සහභාගීකරවා ගැනීමට නොහැකිවීම නිසා උසස්පෙළ සිසුන්ගේ අධ්‍යාපනයට වඩා සිය ප‍්‍රතිරූපය නංවාගැනීමට මුල්තැන දෙමින් මෙලෙස උසස්පෙළ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දුන් ප‍්‍රශ්නපත‍්‍රය පසෙකලා මහ ඇමතිවරයාගේ සම්මන්ත‍්‍රණ වලට කාලය නාස්තිකරීමට බලකර ඇත.

අධ්‍යාපන ඇමතිවරයාගේ නියෝගය කඩකර ඌව මහඇමතිගේ නියෝගය ඉටුකිරීමට ඌව පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් හරහා විදුහල්පතිවරුන්ට නියෝග කිරීම නිසා විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් බලවත් අසීරුතාවයකටද පත්ව සිටිති.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවායැයි පාරම්බාන ආණ්ඩුවේ අධ්‍යාපනයට වගකිවයුතු බලධාරීන් දරුවන්ගේ වටිනා අධ්‍යාපනික කාලය දරුවන්ගේ අධ්‍යාපනික ප‍්‍රගතියට යොදා ගැනීමට ඉඩ සැලසීම පසෙකලා දරුවන්ගේ එම වටිනා අධ්‍යාපනික කාලය තම දේශපලාන ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීමට යොදා ගැනීම ඉහතා පහත් පිළිකුල් සහගත කි‍්‍රයාවක් වන බැවින් ඌව මහ ඇමතිවරයාගේ මෙම කි‍්‍රයාව අප සංගමය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර ඌව පලාත් පාසල් දරුවන්ගේ වටිනා අධ්‍යාපනික කාලය දේශපාලනඥයින්ගේ දේශපාලන ප‍්‍රතිරූප ගොඩනගා ගැනීම වෙනුවෙන් යෙදවීම වහාම නතර කරවීමට කටයුතුකරන ලෙස අප සංගමය දැඩිව අවධාරණය කර සිටිමු.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්