රට දිනවන ජනතා නියෝජිතයින් සිටින්නේ ජාතික ජන බලවේගය සතුවයි

රට දිනවන ජනතා නියෝජිතයින් සිටින්නේ ජාතික ජන බලවේගය සතුවයි

“රට දිනවන්න නම් නියම ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට යවන්න කියලා. ඒ සඳහා එකම සුදුස්සන් සිටින්නේ ජාතික ජන බලවේගය සතුව” යැයි ජන නියමු කලා කරුවෝ සංවිධානය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ අද (28) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති ජන නියමු කලාකරුවන්ගේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා, රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය, රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා සහ සංගීතවේදී නදීක ගුරුගේ මහතාද අදහස් දැක්වූ අතර ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා

“රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ස්වාධීනව පැවතිය යුතුයි. අද පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ ඡන්දෙ ඉල්ලන්නේ ජනාධිපති ගොඨාභයව ශක්තිමත් කරන්න කියලා. ඔවුන්ගේ එකම සටන් පාඨය ඒකයි. මේ අය පාර්ලිමේන්තුවට යන්න හදන්නේ ජනාධිපති වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් නොවේ. අද විධායකය, ව්‍යාවස්ථාදායකය, අධිකරණය යන මේ ප්‍රධාන කුලුණු තුනම කෙළසලා. ප්‍රධාන පිල් දෙකේම කට්ටිය හිටගෙන ඉන්නේ ජනතාවට විරුද්ධ පැත්තේ.

අද ගෝඨාභයට සහාය දුන් ස්වාමීන්වහන්සේලා පවා වරාය නැගෙනහිර ජැටිය වෙනුවෙන් උද්ඝෝෂණවලට සහාය වෙනවා. ජනාධිපති ගොළුවත රකිනවා. ඡන්දෙන් පස්සේ නැගෙනහිර ජැටියත්, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිත් ඉන්දියාවට දෙන්න එකඟවෙලයි තියෙන්නේ. එම් සී සී එක ගැන කරුණු හොයන්න පත්කළ කොමිසම පැහැදිලිව කිව්වා මේ ගිවිසුම රටට අතිශයින් හානිකර බව. උගතුන්ට බුද්ධිමතුන්ට තැන දෙනවා කියපු ජනාධිපති අර කොමිසමේ උගතුන් හදපු වාර්තාව පැත්තකට දාල ජොන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධන සහ එස් එම් චන්ද්‍රසේනගෙන් එම්සීසී ගිවිසුම ගැන අදහස් විමසනවා. මේ වගේ විහිළු සහ රැවටිලිකාර වැඩ මේ ආණ්ඩුව පත්වෙලා ටික කලකින් ඕන තරම් රටේ ජයාට දැකගන්න පුළුවන් වුණා. තුනෙන් දෙකක බලයක් ඕන කරන්නේ රට විකූණන්නයි, ජනතාව මර්දනය කරන්නයි; රට හදන්න නොවෙයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රට දිනවන්න නම් නියම ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට යවන්න කියලා. ඒ සඳහා එකම සුදුස්සන් සිටින්නේ ජාතික ජන බලවේගය සතුවයි.”

දුෂ්ට චක්‍රයට එරෙහිව ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා

“දශක හතක් ගෙවලා ආණ්ඩු පත්කරලා ඉතාම අවාසනාවන්ත අගාධ ගත රටක් අපිට උදාකර දී තියෙනවා. නීතිය පයින් පාගෙන සිටින ආර්ථිකය බිංදුවට වට්ටපු, බදුවලින් ජනතාව තලන පෙළන පාලක රැලක් තමයි අද රට කරවන්නේ. පාලකයින් නරක විදියට පොහොසත් වන, ජනතාව නරක විදියට දුප්පත් වන රටක් බවට අපේ රට පත්කරලා. ජාතික ප්‍රතිපත්තිවලින් තොර අවිචාරවත්ව රට පාලනය කළ සියලු ආණ්ඩු මේ තත්වයට වගකිව යුතුයි.

අද ඉතාම පහත් වදන්වලින් රටේ පාලකයෝ ජාතිය අමතන්න පටන් අරන්. ඒකට හොඳම
උදාහරණය අගමැති රාජපක්ෂගේ භාෂාව. වියතුන්ට තැනදෙනවා කියපු ගෝඨාභය ඔවුන්ගේ ලැයිස්තුවේ වියත් මග කට්ටියට දීල තියෙන්නේ 0.3%ක නියෝජනයක්. මේ රටේ කලාකරුවන් වූ අපි අපේ අභිමානය ජාතික ජන බලවේගයට ආයෝජනය කළා. ඒ ගැන අපි තෘප්තිමත් වෙනවා. අපේ ජාතික ලැයිස්තුවට අභියෝග කළ හැකි වෙනත් ජාතික ලැයිස්තුවක් තිබේද?

මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ගන්න බැහැ. ඒ ගන්නවානම් ගත හැක්කේ ඡන්දෙන් පස්සේ සජිත් සහ රනිල් පිලේ කට්ටිය එකතුකරගෙනයි. ඔවුන් කරන ප්‍රකාශවලින් එය දැනටමත් පැහැදිලියි. මේ අය කරන්නේ ජනතා කැමැත්ත විකුණන එකයි.

බලයෙන් මත්වූ පාලකයෝ මේ රටට කළ විනාශය අපි හොඳින්ම අත්දැක තිබෙනවා. මේ උදාවෙන්න යන්නේ මිලිටරිකරණය වූ පවුල් පාලනයක්. එහෙම වුණොත් ඇතිවන විනාශය පරිකල්පනය කරන්නවත් බැහැ. සියලු පුරවැසියන්ගේ වගකීම වෙන්නේ මේ දුෂ්ට චක්‍රයට එරෙහිව ජාතික ජන බලවේගය ශක්තිමත් කරන එකයි. ජනතා කැමැත්ත කිසිදු භෞතික සම්පතකට අපි විකුණන්නේ නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ සත්‍ය ගරුක මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න කියලයි. අපි ගත්මග නිවැරැදි බව අගෝස්තු 06 වෙනිදායින් පසුව රටේ ජනතාවට තේරුම් යාවි.”

රට ලෝකයේ අභිමාවත් දේශයක් බවට පත්කිරීමට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න
සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා

“මේ මැතිවරණයේදී හුරුපුරුදු තට්ටු මාරුවට නැවත ඔබ වැටෙනවාද? මේ කොල, නිල් කණ්ඩායම් දෙක රට හදයි කියලා මේතාක් කල් ජනතාව හිතුවා. එහෙම හිතල ඡන්දය දුන්නා. අවසානයේ ඉතුරුවුණේ රැවටිල්ල පමණයි. අපි මේ රටේ සබුද්ධික ජනතාවගෙන් ඉල්ලනවා පුරුද්දට රැවටිල ඡන්දය දෙන්න එපා කියලා. රටේ අනාගතය සඳහා නිවැරැදි තීන්දුවක් ගන්න කියලා. දේශපාලනය ගැන කලකිරිලා, නිෂ්ක්‍රීයවෙලා පලක් නැහැ. මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඔබ පෙරමුණට ආ යුතුයි. ජාතික ජන බලවේගය අපි ගොඩනැගුවේ ඒ සඳහායි. මෙතෙක් පාලනය කළ ආණ්ඩුවල තිත්ත ඵල අද ජනතාව භුක්ති විඳිනවා.

කුරුණෑගල රාජ සභාව වේ තුඹසක් තරම්වත් ගණන් නොගෙන විනාශ කර දැම්මා. රටේ ජනතාව වදවේදනා විඳිද්දී නාස්තිකාර ක්‍රීඩාපිටි හදන්න මේ පාලකයෝ පොරොන්දු දෙනවා. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවැනි අයද?

විදේශගත ශ්‍රමිකයන් රට විරුවො කියල කොරෝනා වසංගතයට කලින් මේ පාලකයන් විසින් හැඳින්වූවා. නමුත් අද මේ ආණ්ඩුවේ අය කියන්නේ ඒ අය කොරෝනා බෝම්බකරුවන් කියල. ජෝර්දානයේ ශ්‍රීලාංකිකයෝ 500ක් පමණ තමන්ව මෙරටට ගෙන්වාගන්න කියලා අපේ තානාපති කාර්යාල ඉස්සරහා උද්ඝෝෂණය කළා. ජෝර්දාන පොලීසිය කඳුළු ගැස් ගහලා ඔවුන්ව පලවා හැරියා. අපේ රටේ පාලකයෝ එය ඉදිරියේ මුනිවත රකිනවා. මොවුන්ට අවශ්‍ය ජනතාවගේ ජීවිත නොව බලයයි. අපි ජනතාවට කියනවා මෙවරත් රැවටෙන්නට එපා කියලා. අනාගතය ගැන අපේක්ෂාවක් තිබේ නම් ලෝකයේ අභිමානවත් දේශයක් බවට අපේ රට පත් කිරීමට ඔබට අවශ්‍ය නම් දරුපරපුර ගැන හිතනවා නම් ඒවගේම සදාචාරවත් සංස්කෘතියක් සහිත රටක් ඔබට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කියල මා ඉල්ලා සිටිනවා.”

ජාතික ජන බලවේගයේ සිටින්නේ ජාතික ප්‍රශ්න වෙනුවෙන් අවංකවම සටන් කළ අය
රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය

“කලාකරුවන් වන අපි වෙනුවෙන් මේ රටේ ඇත්තටම හඬක් නැගුවේ කව්ද? ඒ සඳහා පාර්ලිමේන්තුවේ දිනයක් වෙන්කරගෙන කථා කළේ අපේ අනුර කුමාර සහෝදරයා සහ ඉතිරි ජවිපෙ මන්ත්‍රීවරු පස්දෙනායි. එතනදී පාර්ලිමේන්තුවේ සියල්ලෝම පිළිගත්ත කලාකරුවන් දැඩි පීඩනයකට ලක්වෙලා කියලා. ජවිපෙ මුල්වෙලා කලාකරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා. සියලු දෙනා ඒක අනුමත කළා. නමුත් මේ වනතුරුත් එය ක්‍රියාත්මක නැහැ.

පාර්ලිමේන්තුවේ ඉන්න හොරු සහ අපරාධකාරයෝ පන්නන්න ඕන කියලා හැමදෙනාම කියනවා නේ. දැන් ඒකට අවස්ථාව ලැබිල තියෙනවා. එහෙම නොවන 225ක් පාර්ලිමේන්තුවට යවන්න. අද මැද පෙරදිග ගිය අපේ කාන්තාවෝ ඇතුළු සහෝදරවරු රට දිහා බලාගෙන හඬා වැලපෙනවා. ජීවිත ආරක්ෂාව සලසන්න කියලා. මේ ඔක්කොම අපේ රටේ සහෝදර පුරවැසියො. අද මැද පෙරදිග වැඩ කරන්න ගිය ශ්‍රී ලාංකික කාන්තාවෝ කොරෝනා වසංගතය මැද රැකියා අහිමිවෙලා සේලයින් බෝතල් කඩාගෙන බොමින් එහෙ පාරවල්වල වැටිල ඉන්න අන්දම සමාජ මාධ්‍ය ජාලවල මේ දිනවල දකින්න පුළුවන්. එහෙම තියෙද්දී අපේ රටේ පාලකයෝ ඔවුන්ගේ නෑදෑ හිතවතුන් කඩිමුඩියේ ගෙන්වා ගන්න කටයුතු කළා. ඒ අය ගැන උණුවූ හිත අර අහිංසක මිනිසුන් පිළිබඳව නැහැ. මේ පාලකයෝ ගැන තවත් විශ්වාසය තැබිය යුතුද? පාර්ලිමේන්තුවේ ඉන්න කොල නිල් කල්ලි දෙකේ කාන්තාවෝ අපේ කාන්තාවන් වෙනුවෙන් කර තිබේන්නේ මොනවාද? ජාතික ජන බලවේගය තුළ ඉන්නේ රටේ කාන්තාවන් වෙනුවෙන් සහ ජාතික ප්‍රශ්න වෙනුවෙන් අවංකවම සටන් කළ අය.”

ජනතා පරමාධිපත්‍ය රකින අය පාර්ලිමේන්තුවට යවන්න
රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා

“කොරෝණා වසංගතයත් සමග අපේ රටේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සහ සිනමා ක්ෂේත්‍රයේ කඩා වැටීම තව තවත් වේගවත් වුණා. අපේ රටේ ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ බලවත් ඉල්ලීම පරිදි විදේශ ටෙලි නාට්‍යවලට බදු මුදලක් ගහන්න පසුගිය ආණ්ඩුවට සිදුවුණා. මේ ආණ්ඩුව දැන් එය ඉවත් කරලා. කලා ශිල්පීන්ගේ ආර්ථික අර්බුදයට රු 500,000ක ණය මුදලක් ලබාදීමට පසුගිය කාලයේ තීරණය කළා. සමහර කලා ශිල්පීන් එය අරගත්තා. දැන් එම ණය ගෙවන්නේ කෙසේද කියල බරපතළ ගැටලුවට මුහුණ දීලා. කොරෝනා තත්වය තුළ ශිල්පීන්ට නිර්මාණ නැහැ. මුදල් ලැබෙන්නේ නැහැ. ඒ මදිවට පිටරටින් ගෙනා ටෙලිනාට්‍ය පැය පහක්, හයක් පමණ එක දිගට නාලිකාවල ප්‍රදර්ශනය කරනවා. අපේ රටේ ටෙලි නිර්මාණයකට විශාල පිරිසක් දායක වෙනවා. අද ඒ අයගේ වෘත්තිය අර්බුදයට ලක්වෙලා. පිටරට නාට්‍ය පෙන්වීමත් සමග ලංකාවේ ටෙලි ශිල්පීන් 150ක් 200ක් අතර ප්‍රමාණයකට දිනකට රැකියා අහිමි වෙනවා.

රටක කලාකරුවන්ට තම වෘත්තීය කොන්ද කෙලින් තියාගෙන කළ හැකි වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි. ඔවුන්ට ණයක් නැතිව තම ජීවිතය ගෙනයාමට වාතාවරණයක් සැකසිය යුතුයි. එසේ කළ හැකිවන්නේ සමස්ත ජනතාවටම එසේ ජීවත්විය හැකි ආර්ථිකයක් ගොඩනැගුවහොත් පමණයි.

ජෝන්ද සිල්වා රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවුරුදු ගණනාවක් තිස්සේ ඇදෙනවා. නාට්‍ය ශිල්පීන්ට අඩුවට තම නිර්මාණයක් ප්‍රදර්ශනය කළ හැකි ශාලා පහසුකම් අද අහිමි වෙලා. සිනාමා කර්මාන්තය ඉතාම කණගාටුදායක ලෙස කඩාවැටිලා. මේවාට තියෙන කොරෝනා නීති රීති පාලකයන්ගේ රැස්වීම්වලට නැහැ. ජනාධිපති ගෝඨාභයගේ රැස්වීම් බැලුවම ඒක පේනවා. ගෝඨාභය මහත්තය ජනතාවට බොහෝ දුරින් වැටවල්වලින් ආරක්ෂාවී අත වනාගෙන යනවා. අහිංසක මිනිස්සු වැටෙන් අනික් පැත්තේ සිට පොරකනවා.

පරිසරය ආරක්ෂා කරනවා කියා දීපු පොරොන්දු දැන් අමු අමුවේ කඩනවා. සෞභාග්‍යයේ ප්‍රකාශනයේ පරිසරයේ ආරක්ෂාව ගැන උජාරු පොරොන්දු දී තිබෙනවා. ගෝඨාභය මහත්තය ජනාධිපතිවරණ සටන පටන්ගත්තේ පැලයක් හිටවලා. තමන් පරිසරයට ඒතරම්ම ආදරය කරනවා කියලා පෙන්නලා. 16%ක් වූ වර්තමාන ලංකාවේ වන ගහනය 30% දක්වා වැඩිකරන බව ඔහු කිව්වා. එහෙම කියලා බලයට පත්වෙච්ච ගමන් ලංකාවේ අවශේෂ කෑලෑ අක්කර ලක්ෂ 14කට නීතිමය රැකවරණය දුන් 5/2001 චක්‍රලේඛය අහෝසිකරනවා. පරිසරවේදීන් කියනවා මේ නිසා ලංකාවේ වන ගහනය 11% දක්වා පහත වැටෙනවා කියලා. එදා ගස් කපනවට විරුද්දව, කෑලෑ කපනවට විරුද්දව මොරදීපු අය දැන් ගස්, පස්, වැලි ගජරාමෙට කපාගෙන විකුණනවා. ලංකාවේ ලොකුම ගස්, පස්, වැලි, කුඩු ජාවාරම්කාරයෝ ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ, මේ ආණ්ඩුව සෙවණේ.

අපේ වැඩිහිටි පරම්පරාව මේ පාලකයන්ව දිනවලා කරපු වැරැද්ද නිවැරැදි කරන්න දැන් අපේ තරුණ පරපුරට අවස්ථාව ඇවිත් තියෙනවා. ජනතා පරමාධිපත්‍ය විකුණන අයට ඡන්දය දෙන්න එපා. එය අකුරටම රකින අය පාර්ලිමේන්තුවට යවන්න.”

ඡන්දයේ ගරුත්වය රැක ගැනීමට නම් ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න
සංගීතවේදී නදීක ගුරුගේ

“සෑම මැතිවරණයකට පස්සේ ලංකාවේ බහුතරයක් ජනතාවගේ අපේක්ෂා බිඳවැටෙනවා. ඔවුන් පසුතැවීමට ලක්වෙනව. අපි අද ඉන්නේ දැඩි ආර්ථික අර්බුදයක මුවවිටයි. ගෝලීය ආර්ථිකයේ අපේ නියෝජනයේ කොටසට දෙස බැලූ විට මෙය තවත් බරපතළයි.
අද මානව සබඳතා සියල්ල බිඳ වැටිලා. පාරම්පරික සම්ප්‍රදායන්ගෙන් මිදෙන්නේ නැතිව මේ තත්වය වෙනස් කළ නොහැකිය. බොහෝ අයට ඉන් මිදිම ඉතා අපහසුයි. කුඩයක් දුන්නහමත් ඡන්දය දෙන අය තමයි ඉන්නේ. වෙනස් වෙන්නට බැරි සහ අකමැති උදවියට එසේ වන්නට ඉඩ හරිමු. අපිත් කියන්නේ එසේ කළ හැකි අයට දෑස් විවර කර බලන ලෙසයි.

මෙතෙක් ඔබ ඡන්දය දුන්නේ කුමන හෝ පාලක කඳවුරක බලය තරකර ගැනීමටයි. ඔබට එය වැටහෙනවා. නමුත් ඔබ ඡන්ද පොළේ දී බොහෝවිට ගන්නේ අමනොඥ තීන්දුය. අපි මේ භුක්ති විඳිමින් ඉන්නේ එහි ප්‍රතිඵලයි.

පසුගිය කාලය පුරාවට පුරවැසියාගේ ගෞරවය බරපතළ ලෙස කෙළසලා දාලා. මෙය රැකිය හැක්කේ කුමන බලවේගයකටද? ඉතිහාසය බලන්න. සංසන්දනාත්මකව බලන්න. ගෞරවාන්විත ජීවිතයක් වෙනුවෙන් ඔබේ තීන්දුව ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා ගන්න.

අපි මුහුණ දෙන අපේම අර්බුද අපිම රසවිඳින තත්වයකට මේ පාලක ගැති සමහර මාධ්‍යයන් අපිව පත්කර තියෙනවා. තාර්කිකව හිතන සෑම කෙනෙක්ම කල්පනා කළ යුතු දෙයක් තිබෙනවා. මේ එම මාර්ගයේ ගොස් අපි වැනි අස්ථාවර කුඩා රාජ්‍යයකට අත්විය හැකි ඉරණම කුමක්ද යන්නයි. ප්‍රධාන පක්ෂ මවන සිහින ලෝකවල අතරමංවී අන්ධ තීරණ ගන්න එපා. ලබපු අත්දැකීම් මත සිට දරුවන්ගේ අනාගතය ගැන සිතා ඔබේ ඡන්දයේ ගරුත්වයද රැකගෙන තීන්දුවක් ගන්නේ නම් ඔබ මාලිමාවට ඡන්දය දිය යුතුයි.”

මෙහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා

“ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නේ එහාට මෙහාට පැනලා හොඳට හුරුවෙච්ච කට්ටිය. මෙවරත් බලයට පත් වෙන ආණ්ඩුව වෙනුවෙන් ඒ පිල් මාරුව කරන බව අපි ස්ථිරවම කියනවා. මේ අය කරන්නේ රටේ අර්බුදයට ප්‍රතිපත්තිමය උත්තර හොයන එක නොවේ. බොලඳ කථා කියමින් රට වටේ යන එකයි.

තුනෙන් දෙකේ බලය යථාර්ථයක් වන්නේ නැහැ. වරදානවලට ලොල්වූ පිල්වලින් කට්ටිය අරගෙන එය සාදාගනීවි. නමුත් ජාතික ජන බලවේගයේ අය එසේ වරදානවලට බිලිබාගත හැකි අය නොවේ. ඒ ගැන අපි රටට ස්ථිර සහතිකයක් දෙනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්