ආණ්ඩුව කොළඹ නගර සභා මැතිවරණය පරාජයවීමත් සමග නැවතත් කොළඹ බලය ලබාගැනීමේ අග නාගරික සංස්ථාවක් පිහිටුවීමේ වැඩපිළිවෙලට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තොම්බර් 08 වෙනිදායින් අවසන් වූ පළාත් පාලන මැතිවරණය ආරම්භයට පෙර මාස ගණනාවක් තිස්සේ ඉතා වේගයෙන් ඉහළට එසවුණු පුවතක් වූයේ, කොළඹ නාගරික සංස්ථාවක් පිහිටුවීමේ පුවතය. රාජපක්ෂ ආණ්ඩුව ඊට අදාල වැඩකටයුතු මැතිවරණයට දින නියමවෙත්ම යටපත්කරගත් අතර ආණ්ඩුවේ බලාපොරොත්තුව වූයේ, මැතිවරණය ජයගෙන කොළඹ අගනගරයේ බලය තමන් සතුකරගැනීමයි. නමුත් මැතිවරණයේදී ආණ්ඩුව පරාජයට පත්වීමත් සමග ආණ්ඩුවේ බලාපොරොත්තුව සුන්වී ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් කොළඹ අග නාගරික සංස්ථාවක් බවට පත්කිරීමේ පුවත කරළියට පැමිණ ඇත.
පසුගිය 13වන දින අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් කොළඹ අග නාගරික සංස්ථාව පිහිටුවන බව කියා සිටියේය. එසේ කරනු ලැබූවද නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති බලතල අඩු නොවන බවද ඔහු සදහන් කර තිබිණි. ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම මගින් කොළඹ බලය කෙසේ හෝ තමන් සතු කර ගැනීමේ ආණ්ඩුවේ වුවමනාව එළියට පැන ඇති බව දේශපාලන විශ්ලේශකයින්ගේ අදහසයි. විශේෂයෙන් රාජපක්ෂවරුන්ගේ බල ලෝභයට එරෙහි කොළඹ ජනතාවගේ අප්‍රසාදය මැතිවරණයෙන් පළවී තිබියෙදීත් ආණ්ඩුව දැඩි ලෙස එම ව්‍යාපෘතියට කැපවී ඇතිබව මෙමගින් පෙනීයයි.
මෙම අග නාගරික සංස්ථාවට කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, කොලොන්නාව නගර සභාව හා කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල බලප්‍රදේශ අයත්වන අතර මේවායේ මැතිවරණ එකවර කල්දැමීමටද ආණ්ඩුව පෙරදී කටයුතු කර තිබිණි.









