රනිල් පොහොට්ටු හවුල් පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකතු වී ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ජන ජීවිත බිඳ වැටී ඇති බව එම අරමුදල නිකුත් කළ නිවේදනයකින් අනාවරණය වේ.
එම අරමුදල නිකුත් කළ නිවේදනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්තු 21 වෙනි දින ප්‍රසිද්ධියට පත් කර තිබේ. මාර්තු 07 වෙනි දින සිට 21 වෙනි දින දක්වා මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් වහාම ක්‍රියාත්මක කළ යුතු කොන්දේසි 14ක් සම්බන්ධයෙන් එකඟ වූ බව ද, තවත් කොන්දේසි 2ක් ක්‍රමානුකූලව ඉටු කිරීමට එකඟ වූ බව ද මෙයට පෙර හෙළිකර තිබිණි.
එහෙත් මහබැංකුව නිකුත් කරන ලද නිවේදනයේ එම කොන්දේසි පිළිබඳ කිසිවක් සඳහන් කර නැත. ඒ අතර “සමාජ වියදම් පිළිබඳ දර්ශකය හැර“ අනෙකුත් ප්‍රමාණාත්මක කාර්ය සාධක දර්ශක ඉලක්ක සපුරා ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇතුළු පොලිම් මේ වනවිට නොමැති වුව ද, ජනතාවගේ ජීවිත දිනෙන් දිනම විශාල වශයෙන් කඩා වැටෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය, ළමා අරමුදල සහ ආහාර අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන දිගින් දිගටම හෙළි කරමින් පවතී. සමාජ වියදම් පිළිබඳ දර්ශකය බිඳ වැටීම යනුවෙන් මූල්‍ය අරමුදලේ වාර්තාව ද එම ජන ජීවිත බිඳ වැටීම පිළිබඳව අතිශය සරළ ආකාරයෙන් දක්වා තිබේ.









