මේ වනවිට මුළු සිදුවීම් 694ක් තමන් වෙත වාර්තාවන බවත් එයින් 36ක් ප්රචණ්ඩ ක්රියා බවත් තවත් සිදුවීම් 658ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාපාරය හෙවත් CaFFE සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
“අක්කරේපත්තුව අරසිඅඩි ප්රදේශයේදී ශ්රීලංකා මුස්ලිම් කොංග්රසයේ ආධාරකරුවන් 6 දෙනෙකුට ප්රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ සලීම් නැමති පුද්ගලයෙකු අක්කර්පත්තුව මුලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම ප්රහාරයෙන් සලීම් නැමති පුද්ගලයාගේ වෙළඳ සැලටද අලාභ හානි සිදුව තිබේ. මෙම ප්රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන් විසින් එල්ල කර ඇති බවට පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙයි.
ජුලි 27 වන දින රාත්රී 10.30ට පමණ සඳලංකාව ප්රදේශයේදී එජනිස ආධාරකරුවන් පිරිසකට ප්රහාරයක් එල්ල වී තිබේ. සඳලංකාව එජනිස පක්ෂ කාර්යාලයේ සිට නිවෙස් වෙත යමින් සිටි පිරිසක් මෙලස ප්රහාරයට ලක්වී ඇත. තඹකන්ද හිඹුඩාව ප්රදේශයේදී ජීප් රථයක් සහ මෝටර් රථ දෙකකින් පැමීණි පිරිසක් ගිණි අවියක් පෙන්වා තර්ජනය කර කඩුවකින් සහ යකඩ පොලු වලින් පහරදීමක් සිදු කර තිබේ. ප්රහාරයෙන් තුවාල ලැබු පිරිස අතුරින් 4 දෙනෙක් මාකඳුර රෝහලලේද, තවත් දෙදෙනෙක් දඹදෙණිය රෝහලේද ප්රතිකාර ලබයි.
කටුගම්පල උඩුගම කදානේගෙදර එජනිස කාර්යාලය කිසියම් පිරිසක් විසින් ගිණිතබා ඇත.
එමෙන්ම ගම්පහ දිස්ත්රික්කයේ මිනුවන්ගොඩ ප්රදේශයේ ඉදිරියේදී විවෘත කිරීමට නියමිතව තිබු එජනිස පක්ෂ කාර්යාල 7කටද ප්රහාර එල්ල වී තිබේ.
මිනුවන්ගොඩ කෝපිවත්ත, හොරම්පැල්ල, අරංගාව, නවලෝක හංදිය, හුරිගහමුල, පත්තඩුව, ගල්කන්ද සහ බෝධි පිහිටුවල යන ස්ථානවල එම කාර්යාල පිහිටා තිබුණි.
මේ අතර ගම්පහ දිස්ත්රික්කයේ එජාප පක්ෂ කාර්යාල කිහිපයකටද ප්රහාර එල්ල වී ඇතැයි වාර්තා වෙයි.
බල්ලපාන සහ උල්ලලපොල ප්රදේශයේ එම පක්ෂ කාර්යාල පිහිටා තිබුණි.”










