එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි සැපයුම්කරු මෙන්ම වත්මන් නායක කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අනුව ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය කළ නියෝගයට අදාල වාර්තාව අද (26) දිනයේද අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව එම වාර්තාව ඉදිරිපත් කිරීමට අවස්ථා දෙකකදී අපොහොසත් වූ අතර එම දෙපාර්තමේන්තුව අද අධිකරණය ඉදිරියේ දන්වා ඇත්තේ කේපී සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දේශීය සහ ජාත්යන්තරව ඔහු කර ඇති වැරදි සම්බන්ධයෙන් සිද්ධි 193ක් පමණ සඳහන්ව ඇති බැවින් එම වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 6ක කාලයක් අව්යශ්ය බවය.
ඒ අනුව කේපී සම්බන්ධ වාර්තාව මාස 6ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කොළඹ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා නියෝග කර ඇති අතර කේපීට විදේශ ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගයද මාස 6ක් දක්වා දීර්ග කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා විසින් නීතීඥ සුනිල් වටගල මහතා මගින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්ය සොලිස්ටර් ජෙනරාල් ප්රියන්ත නාවාන මහතා අද ඉදිරිපත් වී ඇත.









