2020 ජන බලවේගය සඳහා විවිධ තරාතිරමේ විශාල පිරිසක් පෙළ ගැහිලා ඉන්නවා

2020 ජන බලවේගය සඳහා විවිධ තරාතිරමේ විශාල පිරිසක් පෙළ ගැහිලා ඉන්නවා

Image result for bimal rathnayake“ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් කෙරෙන 2020 ජන බලවේගය සඳහා රටේ විවිධ තරාතිරමේ විශාල පිරිසක් මේ වෙනකොටත් පෙළ ගැහිලා සූදානමින් ඉන්නවා. තවත් අය ඉදිරියේදී එකතු වෙනවා. මේ අය කවුරුවත් වරදාන වරප‍්‍රසාද බලාගෙන ජනතා විමුක්ති පෙරවුණ වටා එකතු වෙන අය නොවෙයි. මේ අය සැබෑ හැඟීමෙන් මේ ජන බලවේගය ශක්තිමත් කරන්න එකතුවෙන පිරිසක්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සතිඅන්ත පුවත්පත් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය ඉරිදා පල වූ එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ උපුටාගැනීම පහතින් පල වේ…

“ගිය අවුරුද්දේ කිව්වේ 2017 ජනතා විමුක්ති පෙරමුණ රට රත් කරනවා කියලා. හැබැයි ඒ හැටි රත් වෙච්ච පාටක් නම් නැහැ නේද?

මේ ආණ්ඩුව ඉතාම වේගයෙන් රාජ්‍ය සම්පත් විකිණීමේ සුපුරුදු රාජකාරියට අතගහලා තියෙන්නේ. ආණ්ඩුවට ඒක හැර වෙන පාරක් නැහැ. 2016 අවසාන භාගයේ විශේෂයෙන් හම්බන්තොට වරාය සහ ඊට අදාළ ඉඩම් විකිණීමට උත්සාහ කිරීමත් එක්ක රටේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ඇති වුණා. ඒකට අපි විශේෂයෙන් මූලිකත්වය ගත්තා. ඒ උද්ඝෝෂණ ක‍්‍රමයෙන් ඉහළ මට්ටමට එද්දී ආණ්ඩුව ඒ ජන බලවේගයට බයවෙලා තමන්ගෙ වැඩ සටහන හකුළා ගත්තා. ඒ අනුව ප‍්‍රධානම සටනක් අපි ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒක සම්පූර්ණ ජයග‍්‍රහණයක් නොවෙන්න පුළුවන්. ඒත් තාවකාලිකව හෝ මේක පස්සට තල්ලු කරගන්න අපි සමත් වුණා. ඒ වුණාට අනෙකුත් සටන් තවමත් ක්‍රියාත්මකයි. කොළඹ වරායට අදාළ සටන එහෙම තාම ඉවර නැහැ. ඒකටත් ආණ්ඩුව යම් ප‍්‍රමාණයක බයවීමක් වෙලා තීරණයක් ගන්න එක ප‍්‍රමාද කරමින් ඉන්නවා. පුල්මුඩේ ඉල්මනයිට් විකිණීමට විරුද්ධව, කහටගහ පතල විකිණීමට විරුද්ධව, වී සහ සහල් මිල සම්බන්ධව අපේ උද්ඝෝෂණ දිගටම ක්‍රියාත්මකයි. ආණ්ඩුවේ ප‍්‍රධානම විකිණීමේ ක්‍රියාමාර්ග දෙකක් අපි පස්සට තල්ලු කරලා තියෙනවා. ඒක නිසා ඒ උද්ඝෝෂණ උපරිම මට්ටමට ආවෙ නැහැ. ඒක නිසා වෙන්න ඇති ඔබට රත්වෙලා මදි කියලා හිතෙන්නේ. හැබැයි අනවශ්‍ය විදිහට රත් කරන්න ඕනත් නෑනේ.

හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අඩියක් පස්සට ගත්ත කියලද ජවිපෙ හිතන්නේ ?

ඔව්. ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න සිද්ධ වුණා. හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නන්න ආණ්ඩුව එක එක නූල් සූත්තර දමමින් ඉන්නවා. ආණ්ඩුව සැලසුම් කරගෙන හිටියේ මේ ආණ්ඩුවෙ අවුරුදු දෙක සමරන්න හම්බන්තොට වරාය විකුණගෙන. ඒක අද අසාර්ථක වෙලා තියෙනවා. එට්කා ගිවිසුමත් එහෙමනේ. ඒක 2015 අත්සන් කරන්න හිටියේ. ඒක 2016ට කල්ගියා. 2016 ඒක කරගන්න බැරිවුණා. මේවට ආණ්ඩුව පැත්තෙන් හැම උත්සාහයක්ම දරනවා. අපි අපේ අරගලය ඇතුළෙ සමත්වෙලා තියෙනවා වැරැද්ද වෙන එක කල්දාගන්න.

රාජ්‍ය හා පුද්ගලික ආයතනවල වැඩ වර්ජන, උද්ඝෝෂණ රැල්ලක් අද තියෙනවා. මේ වෘත්තීය සටන් ජනතා විමුක්ති පෙරමුණේ අතට අරගෙන ඒවයි ගෞරවය ඔබලා ගන්න උත්සාහ කරනවද?

කොහේද එහෙම කරලා තියෙන්නේ. 

දැන් ක්‍රියාත්මක වෙන ටෙලිකොම් සේවකයන්ගේ වර්ජනය තමන් අතට දෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලුවෙ නැද්ද?

ඕනම වෘත්තීය සටනක සේවකයෝ තමයි සටන පටන් ගන්නේ. ඒත් අපේ රටේ මේ විදියට පටන් ගන්න සටන් ඉදිරියට ගෙනියන්න ඒ අයට අවශ්‍ය ශක්තිය නැහැ. ඒකට බොහෝ වෙලාවට හොඳ නායකත්වයක් ලැබෙන්නේ නැහැ. ප‍්‍රතිපත්ති ගරුක නායකත්වයක් නැතුව සටන් දිනන්න බැහැ. ඒ නිසා අපි අතගහන ඕනම වෘත්තීය සටනකට නායකත්ව දෙන්න අපි උත්සාහ කරනවා. අපි විතරයි විකිණෙන්නේ නැතුව සටන් කරන්නේ. ඕනම වෘත්තීය සටනකට සහාය දීමෙන් එහාට ගිහිල්ලා ඒ සටන් ජයග‍්‍රහණය කරා අරගෙන යන්න අවශ්‍ය දේ අපි කරනවා. ඒ ගෞරවයක් හෝ වාසියක් බලාගෙන නොවෙයි. අපි සහාය දෙන වෘත්තීය සටනක් දියාරු වෙනවා දකින්න අපි කැමැති නැහැ. අපේ මැදිහත්වීම හරිම විවෘතයි. අපට මේ කිසිදේක සැඟවුණු න්‍යාය පත‍්‍ර නැහැ. අපට කාගෙවත් සටන් අයිතිකර ගැනීමේ ගායක් නම් නැහැ.

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ උනන්දුව ආපහු උඩට ඇවිත්. කොප් කමිටු සාමාජිකයෙක් විදිහට මේ ගැන මොකද වෙන්නේ කියලා කියන්නකො?

බැඳුම්කර සිද්ධියෙ හොරු දැන් හෙළිදරවු වෙලා තියෙනවා. ඒක රට ලබපු ජයග‍්‍රහණයක්. යූ.එන්.පී හෝ ශ්‍රී ලංකා දෙකෙන් එකකටවත් පාර්ලිමේන්තු බහුතර බලයක් නොදීමත් නිසා මේ ජයග‍්‍රහණයට හේතුවක් වුණා. එක පැත්තකට බහුතර බලයක් ලැබුණ නම් කෝප් කමිටුවෙ සභාපතිකම ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්නේවත් කොප් කමිටුවෙ සංයුතිය මේ විදියට සකස් වෙන්නේවත් නැහැ. ඒකාබද්ධ ආණ්ඩුවක් හදාගත්තත් ඒ දෙපිරිස අතර බෙදීමක් තියෙනවා. ඒ වගේ ඒ කොප් කමිටු සාමාජිකයන්ගේ අරගලය මේ සිදුවීම හෙළිදරවු කර ගැනීමට විශාල දායකත්වයක් වුණා. අවංක මහ බැංකු නිලධාරින්, මාධ්‍ය මේ හැම පාර්ශ්වයක්ම මේ මහා වංචාවේ ඇත්ත නැත්ත හෙළිදරව් කරගන්න ලොකු සහායක් දුන්නා. මේකෙදි විගණකාධිපති දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය අතිශය තීරණාත්මක එකක් වුණා. මෙතන සිදුවුණු වංචාව තර්කානුකූල විධිමත් ක‍්‍රමයකට හෙළිදරව් කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙ නිලධාරීන්. කාටවත් නැමෙන්නෙ නැතුව මේ තරම් දුර මේක ඇදගෙන එන්න කෝප් කමිටු සභාපතිවරයාගේ භූමිකාවත් බලපෑවා. ඒක අමතක කරන්න බැහැ. මේ හැම පාර්ශ්වයකම ක්‍රියාකාරිත්වය මත ලැබූ ජයග‍්‍රහණයක් තමයි මේක. මේ හොරකම දැන් කාටවත් නැහැ කියන්න බැහැ. දැන් තියෙන්නේ උසාවියෙන් නඩු අහලා අදාළ පුද්ගලයො හිරේ දාන්න විතරයි. ලංකාවේ උසාවිවලට මේ නඩුවට අදාළව තීන්දුව අර්ජුන් මහේන්ද්‍රන්ව වැරැදිකාරයා නොකර දෙන්න බැහැ. මම මේ අධිකරණයට උගන්වනවා නොවෙයි. මේක එතරම්ම විනිවිදයි. ලංකා ඉතිහාසයේ සියලු සටහන් සහිතව සිදුවෙච්ච හොරකමක් මේක. මේක කොළවලින් ඔප්පු කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂගෙ ඩුබායි ගිණුම්වල හොරකම් හොයන්න ඩුබායි යන්න වුණා. යුක්රේන් යන්න වුණා. ඒකට අදාළ කොළ ටික හොයා ගන්න ගොඩක් අමාරු වුණානේ. මහ බැංකු හොරකම එහෙම නොවෙයි. මේකෙ කොළ ගෙඩි පිටින් තියෙනවා. ඒක උසාවිවියට නැහැ කියන්න බැහැ. මේ සම්බන්ධව කතානායකතුමාට වගකීමක් තියෙනවා දැන් මේක නීතිපතිවරයාට යොමු කරවල අවසන් තීරණයකට එන්න පුළුවන්. මේ සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුවෙ ක්‍රියාත්මකවීම අධීක්ෂණය කරන්න කොප් කමිටුව ව්‍යුහයක් සකස් කරගන්න බලාපොරොත්තු වෙනවා. සැබැවින්ම මේක දූෂිතයන් හිරේ ගිහින් අවසන් වන සිදුවීමක් වේවි. ඊට මෙහා දෙයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ.

බැඳුම්කර සිදුවීම ගැන කෝප් කමිටු වාර්තාව මුදල් ඇමැතිවරයාට නොදී විගණකාධිපතිවරයා ඒක බිමල් රත්නායකට දුන්නා කියලා රවි කරුණානායක චෝදනා කෙළේ ඇයි? 

මේකෙ පසුබිම මම පැහැදිලි කරන්නම්. මේ බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව සකස් කිරීමේදී විගණකාධිපතිවරයා කොන්ද කෙළින් තියාගෙන වෘත්තීයමය විදියට වැඩ කළා. ඒක මේ ආණ්ඩුවට ලොකු ප‍්‍රශ්නයක් වුණා. විශේෂයෙන් අගමැතිවරයා මුදල් ඇමතැවරයා ඇතුළු පිරිසටයි මේක ප‍්‍රශ්නයක් වුණේ. ඒ අතරෙ විගණකාධිපතිවරයාට ඒ අය නොයෙකුත් බලපෑම් කළා. මුදල් ඇමැති රවී කරුණානායක, විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. 2008 ඉඳලා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු ගැන වාර්තාවක් සකස් කරලා දෙන්න කියලා. ඒ අනුව විගණකාධිපතිවරයා මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ බැඳුම්කර නිකුත් කිරීමේ ගනුදෙනු 2136 ගැන වාර්තාවක් සකස් කරලා ඒ වාර්තා මුදල් ඇමැතිවරයාටත් තකානායකවරයාටත්, මහ බැංකු අධිපතිවරයාටත්, කෝප් කමිටු සභාපති විදියට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාටත් එතුමා භාරදෙන්න කටයුතු කරලා තියෙනවා. එහෙම නැතුව ඒක මට බාරදීමක් වුණේ නැහැ. ඒත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා විදේශගතවෙලා ඉඳලා ලංකාවට ආවෙ පසුගිය 24 වැනිදා උදේ පාන්දර. එදා තමයි බැඳුම්කර වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පටන් ගත්තේ. ඒ නිසා හඳුන්නෙත්ති මනිත‍්‍රීතුමා මට උපදෙස් දුන්නා ඒ වාර්තා අධ්‍යයනය කරලා විවාදයට සූදානම් වෙන්න කියලා. ඒ නිසා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට අදාළ වාර්තාව තමයි මම පාවිච්චි කළේ. මෙතන විගණකාධිපතිවරයා කිසිම වරදක් කරලා නැහැ. විගණකාධිපතිවරයා හෑල්ලුවට ලක් කරන්න මුදල් ඇමැති රවී කරුණානායක ගත්තු අසාර්ථක උත්සාහයක් මේක.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමා දිසානායකගේ අයර්ලන්ත නිවසක් ගැන කතාවක් යනවා මේ දවස්වල. ඔබලා හැමදාම කියනවා වගේ මේකත් ජවිපෙට ගහපු අවලාදයක් මඩක් කියලද කියන්නේ? 

අනුර කුමාර සහෝදරයගෙ අයර්ලන්ත සම්බන්ධයක් ගැන අසත්‍ය ප‍්‍රචාරයක් ගෙනියන්න උත්සාහ දරලා ජාතික පුවත් පතක් කියලා කියපු එකක් මඩ පත්තරයක් බවට පත්වුණා.

එක එක කාලට එක එක ජාතියෙ මඩ ගහනවා එක එක පුද්ගලයෝ. ඔය අයර්ලන්ත ගෙදර කතාවත් ඒ වගේම නිර්මාණය කරපු එකක් විතරයි. අපි මේක ප‍්‍රතික්ෂේප කරනවා. ජවිපෙ ඔය වගේ මඩ ගැහිලිවලට බය නැහැ. අඩුම තරමෙ මේ මඩ ගහන අයට සුමානයක්වත් අල්ලලා හිටින මඩ ප‍්‍රචාරයක් ගොතා ගන්න බැහැ.

ජවිපෙ මඩවලට බය නැහැ කිව්වට ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා අන්තර් ජාලයට පණිවිඩයක් නිකුත් කරනවා තමන්ට ගහන මඩවලට රැවටෙන්න එපා. බය වෙච්ච නිසාම නෙවෙයිද ඒ වගේ දේවල් කරන්නේ?

ප‍්‍රතිචාර දක්වන්න ඕන තැනදි අපි ප‍්‍රතිචාර දක්වනවා. මේ මඩගහන කණ්ඩායම් කොච්චර බංකොළොත් වෙලාද කියනව නම්, ජවිපෙ ලෙටර් හෙඩි එක කොපිකරලා ජවිපෙ නිල ෆේස් බුක් පිටුව වගේ එකක් හදලා අසත්‍ය ප‍්‍රචාර පතුරුවනවා. මේ ගැන පාක්ෂිකයෝ සහ හිතවතුන් ඇතුළු රටේ ජනතාව දැනුම්වත් වෙන්න කියලයි ටිල්වින් සහෝදරයා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ. මේවට අපි කියන්නේ සිඟිති ආතල් කියලා. මේ වගේ වැඩ කරලා ජවිපෙ මයිල් ගහක්වත් හොල්ලන්න බැහැ. හැබැයි මේවයින් ඇතැම් දෙනා රැවටෙන්න පුළුවන්. ඒක ගැන දැනුම්වත් කිරීම අපේ යුතුකමක්.

ජවිපෙ පහුගියදා පවත්වපු දිරිය පුරවැසි සමුළුව හරහා අල්ලන්න හදන්නෙ කොයි වගේ අඩව්වක් ද? 

දිරිය පුරවැසි සමුළුව අපි හඳුන්වා දීපු අලුත් සංකල්පයක්. අපේ රටේ ජනතාව යටත් වැසියො වෙනුවට පුරවැසියො විදියට ශක්තිමත් කරවීම තමයි මේකෙ අරමුණ. කාලයක් තිස්සේ අපේ රටේ මිනිස්සු හිටියේ යටත් වැසියො විදියට. ඒ අය තමන්ගේ පුරවැසි අයිතිවාසිකම් ගැන අවබෝධයක් නැතුව කටයුතු කළේ. රටකට ඕන පුරවැසියො. ජාතික මට්ටමේ දේශපාලන බලවේග එකතු කරගෙන 2020 නව ජනතාවාදී බලවේගයක් ගොඩනඟන්න ගත්ත උත්සාහයේදී පුරවැසියා ශක්තිමත් කිරීම වැදගත්. ඒ නිසා ගම් මට්ටමින් දිරිය පුරවැසි සමිති ව්‍යාපාරයක් අපි ආරම්භ කළා. මේකට නායකත්වය දෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ. මේකට ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දිරිය පුරවැසි සමිති අපි රටේ හැම දිස්ත්‍රික්කයකම ආරම්භ කළා. උතුරු නැගෙනහිරත් අපි මේවා ආරම්භ කළා. මේ දිරිය පුරවැසි සමිති අපේ 2020 ඉලක්කය ජයගන්න විශාල කාර්ය භාරයක් ඉටු කරාවි.

ඔබලගේ මේ සමුළුවේදී සීමා නිර්ණය කොමිසමේ සභාපති අශෝක පීරිස් පවා අදහස් දැක්වූවා. ඒ වගේ අය මේවට හවුල් වීමේ ගනුදෙනුව සිද්ධවෙන්නේ කොහොමද?  

අශෝක  පීරිස් මහත්තයා සීමා නිර්ණය අභියාචනා කමිටුවේ හිටපු සභාපති. ඔහුගේ රාජකාරි කාලය අවසන් කළාට පස්සේ තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අශෝක පීරිස් වගේ කීර්තිමත් රාජ්‍ය සේවකයන් අපිට සහාය පළ කරන්න සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් කෙරෙන 2020 ජන බලවේගය සඳහා රටේ විවිධ තරාතිරමේ විශාල පිරිසක් මේ වෙනකොටත් පෙළ ගැහිලා සූදානමින් ඉන්නවා. තවත් අය ඉදිරියේදී එකතු වෙනවා. මේ අය කවුරුවත් වරදාන වරප‍්‍රසාද බලාගෙන ජනතා විමුක්ති පෙරවුණ වටා එකතු වෙන අය නොවෙයි. මේ අය සැබෑ හැඟීමෙන් මේ ජන බලවේගය ශක්තිමත් කරන්න එකතුවෙන පිරිසක්.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්