2011 වසරේ උසස් පෙළ සමත්වී විශ්වවිද්යාල වරම් ලැබූ ශිෂ්ය ශිෂ්යාවන් විශ්වවිද්යාලවලට බඳවා ගැනීමට හැකිවනුයේ ලබන වසරේ (2013) පෙබරවාරි මාසයේදී පමණ බව උසස් අධ්යාපන අමාත්යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ සරසවි ප්රවේශය කෙරෙහි බලපාන අධිකරණ ක්රියාමාර්ග නිමාවීමෙන් පසු දෙසැම්බර් හෝ ජනවාරි මාසයේදී කඩඉම් ලකුණු නිකුත් කළ හැකි බවයි.
සෞන්දර්ය විශ්වවිද්යාල ඇතුළු ඇතැම් විශ්වවිද්යාලයන්හි පාඨමාලා කිහිපයක ප්රායෝගික පරීක්ෂණ අහෝසි කිරීමට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ගෙන ඇති තීරණයට අභියෝග කරන පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී. සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ ආචාර්යවරු පිරිසක් ගොනු කළ මෙම පෙත්සම යළි කැඳවීමට නියමිතය. එහි තීන්දුව ලැබෙන තුරු සරසවි ප්රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීමට ප්රතිපාදන කොමිසමට හැකියාවක් නැතැයිද හෙතෙම පැවසීය.
පසුගිය වසරට සාපේක්ෂව සිසුන් 5,609දෙනකු වැඩිපුර විශ්වවිද්යාලවලට බඳවා ගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය නියෝග කළේ ඉසෙඩ් ස්කෝර් ගැටලුවට විසඳුමක් ලෙසිනි. සාමාන්යයෙන් මැයි මාසයේදී කඩයිම් ලකුණු නිකුත් කර ඔක්තෝබර් මාසයේදී විශ්වවිද්යාල ආරම්භ කළද, මෙවර මතුවූ ඉසෙඩ් ලකුණු ගැටලුවත්, අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනත් නිසා මාස 05ක පමණ ප්රමාදයක් හටගෙන තිබේ.
කෙසේ නමුත් ඉසෙඩ් ස්කෝර් අර්බුදයට මුහුණ පෑ 2011 උසස් පෙළ සමත් සිසු සිසුවියන් ගෙනගිය සටනේ ප්රතිඵලයක් ලෙස 28,000 ආසන්න ශිෂ්ය ශිෂ්යාවන් සංඛ්යාවකට මෙවර සරසවි වරම් හිමිවනු ඇත.









