20 සංශෝධනය ගෙනෙන්නේ රටේ දේශපාලනය පවුල් දෙකකට සීමා කරන්නයි

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව රටේ බහු පක්ෂ දේශපාලනය අවසන් කොට පක්ෂ දෙකකට, පවුල් දෙකකට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර දීම බව ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පෙරවරුවේ එම පක්ෂයේ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා….

නව මැතිවරණ ක‍්‍රමයක් සහිත ගැසට් පත‍්‍රයක් නිකුත් වී තිබෙනවා. එහෙත් මෙහි සැබෑ අරමුණ පවතින මැතිවරණ ක‍්‍රමයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම නොව වෙනත් දෙයක්. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරනවා වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළුවන එකක්. ඒ නිසා ඊට එකඟ වන්න පුළුවන්කමක් නැහැ.

පසුගිය කාලයේ නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ සාකච්ඡාවක් සමාජයට ආවා. ජවිපෙ ජාතික විධායක සභාව තුළ මේ පිළිබඳව කථා කළා. ඒ වන විට ආණ්ඩුව විසින් සකස් කර තිබූ නව මැතිවරණ ක‍්‍රමයට අදාළව ඒ සාකච්ඡාවලදී ජවිපෙත් අදහස් ඉදිරිපත් කළා. මැතිවරණ ක‍්‍රමය පිළිබඳ සංශෝධනය ඉදිරියට යා යුතුව තිබුණේ ඒ අනුවයි. එහෙත් පසුව ඊට වෙනස් යෝජනාවලියක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ බව වාර්තා වුණා. එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ බව ජනමාධ්‍යවල වාර්තා කළා. එහෙත් පසුව දැන් ඊටත් වෙනස් මැතිවරණ ක‍්‍රමයක් සහිත යෝජනාවලියක් ගැසට් කර තිබෙනවා. මෙය කිසිවෙකු අපේක්‍ෂා කළ එකක් නෙවෙයි. හංගලා ගහපු එකක්. සියලූ දෙනාට සාධාරණ අවස්ථා නිර්මාණය කළ මැතිවරණ ක‍්‍රමයක් නෙවෙයි.   හුරතලේට පූස් පැටියෙක් ගේනවා කිව්වා. ගෙනත් තියෙන්නේ කොටි පැටියෙක්. දෙදෙනාම බිලාල පවුල. නමුත් හාත්පසින්ම වෙනස්.

පවතින සමානුපාතික ඡුන්ද ක‍්‍රමය තුළ නියෝජනය සාධාරණයි. එහෙත් එහි මනාප ක‍්‍රමය ඇතුළු ලක්‍ෂණ කිහිපයක අඩුපාඩු පවතින බවට අදහස් පළවී තිබුණා. ආසනයට මන්තී‍්‍රවරයෙක් සිටිය යුතු බවට කිව්වා. මේ කරුණු සම්බන්ධයෙන් අපට ගැටලූවක් නැහැ. එහෙත් මෙම ගැසට් පත‍්‍රය මගින් යෝජනා කරන 20වන සංශෝධනය තුළ බරපතල ගැටලූ පවතිනවා. පළමුවෙන්ම එමගින් බහුපක්‍ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කර ද්වී පක්‍ෂ ක‍්‍රමයක් ඇතිකරනවා. දේශපාලනය පක්‍ෂ දෙකකට, පවුල් දෙකකට සීමා වෙනවා. දැන් අපට විවිධ දේශපාලන අදහස් මත දරන පක්‍ෂ තිබෙනවා. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජවාදී විය හැකියි. දක්‍ෂිණාංශික හෝ වාමාංශික විය හැකියි. සුළු ජන කොටස් නියෝජනය කරන පක්‍ෂ විය හැකියි. මේ සියලූ දෙනාගේම අදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන තුළ නියෝජනය වීම අවශ්‍යයයි.

එහෙත් මේ නව යෝජනාව තුළ ආසනවල දේශපාලනය පක්‍ෂ දෙකකට සීමා වෙනවා. ප‍්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයින් දෙදෙනා අතරට පමණක් සටන සීමා වෙනවා. සෙසු අපේක්‍ෂකයින් නොසලකා හැරෙනවා. බදුල්ල, කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්ක ගතහොත් සමානුපාතික නියෝජනය තුළ ඒවායේ මුස්ලිම් ජනතාවට නියෝජනයක් ලබාගත හැකියි. එසේම උතුරු නැගෙනහිරින් පිටත ජීවත්වන විශාල දෙමළ ජනතාවක් සිටිනවා. ඔවුන්ටද මෙම ක‍්‍රමය තුළ නියෝජනයක් ලබාගත හැකියි. එහෙත් නව මැතිවරණ යෝජනා තුළ ඔවුන් කිසිවෙකුටත් ආසන ජයග‍්‍රහණය ලබාගැනීමට නොහැකියි. මැතිවරණ ක‍්‍රම සකස් කළ යුත්තේ සියලූ ජනතාව එකතු කරගැනීමේ අර්ථයෙන්. නැතහොත් පිටමං කිරීමේ අර්ථයෙන් නොවෙයි. තමන්
ගේ අදහස් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළ නොහැකි යැයි එම ජනකොටස්වලට හැඟී ගියහොත් එය රටේ අනාගතයට බරපතළ අවදානම්කාරී තත්වයක් ඇතිකරනවා. ඉතිහාසයේ අපි එවැනි අවස්ථා අත්දුටුවා.

මෙම යෝජනාවල තවත් බරපතළ කුමන්ත‍්‍රණයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය වළකාලීමයි. ජනතාව පාර්ලිමේන්තුව පිළිබඳව දැනගත්තේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි. පාර්ලිමේන්තුවේ රහස් හෙළිදරව් වුණේ ජවිපෙ නිසයි. මන්තී‍්‍රවරයාගේ වැටුප, දීමනා, ආහාර මිල ගණන්, තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ගැන සමාජය දැන ගත්තේ ජවිපෙ නිසයි. ආණ්ඩුවල වංචා-දූෂණ, අක‍්‍රමිකතා රට දැනගත්තේ ජවිපෙ නිසයි. ඒ නිසාම ජවිපෙ පාර්ලිමේන්තුවෙන්  පිටමං කිරීමේ වුවමනාව ඒවාට සම්බන්ධ අයට තිබෙනවා. තවත් කරුණක් වන්නේ ජාතිවාදය මගින් බලයට ඒමට උත්සාහ කරන අය නව මැතිවරණ ක‍්‍රමය මගින් තමන්ට අවස්ථාවක් විවර වනු ඇතැයි සිතීමයි. එසේම හොරකම මගින් යැපෙන පිරිස්වලටත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න නව මැතිවරණ ක‍්‍රමය අවශ්‍යය යැයි සිතනවා.

ජනතාව ඡන්දය නොදීම නිසා පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වීම තේරුම් ගත හැකියි. එහෙත් ජනතාව ඡන්දය ප‍්‍රකාශ කළද මැතිවරණ ක්‍රමයේ ස්වභාවය නිසා පාර්ලිමේන්තු නියෝජනය අහිමි වීම බරපතළ තත්වයක්. බරපතල අනාගත අනතුරකට අත වැනීමක්. යෝජිත අලූත් මැතිවරණ ක‍්‍රමයෙන් දැනට තිබෙන ක‍්‍රමයේ අඩුපාඩු ඉවත් නොවීමත් විශේෂ කරුණක්. විවේචනයක් තිබුණා ජාවාරම්කාරයින්, කුඩුකාරයින්, හොරුන් පාර්ලිමේන්තුවට තේරී පත්වන බවට. අවම වශයෙන් දැන් ලැයිස්තුව තුළ එවැනි අය සිටීනම් ඡන්ද දායකයින්ට ඔවුන් මඟහැර යම් තෝරාගැනීමක් කළ හැකියි. එහෙත් නව ක‍්‍රමය තුළ ආසනය සඳහා පක්‍ෂයෙන් ඉදිරිපත් කරනු ලබන  ඕනෑම හොරෙකුට ඡන්දය ප‍්‍රකාශ කිරීමට එම පක්‍ෂයේ ඡන්දදායකයාට සිදුවෙනවා. අයුතු ලෙස ධනවත් වූ අය, අසීමිත ලෙස වියදම් කර පාර්ලිමේන්තුවට තේරී පත්වීම වැළැක්වීමටත් නව ක‍්‍රමය අසමත්. කලින් ඔවුන් දිස්ති‍්‍රක්කයකට වියදම් කළ මුදල ආසනයකට වියදම් කළ හැකි නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීම වඩා පහසු කර තිබෙනවා.

අනෙක් අතට ආසනයකට මන්තී‍්‍රවරයෙක් සිටීම අතීත අදහසක්. 1977ට පෙර ප‍්‍රදේශයේ සංවර්ධනය සම්පූර්ණයෙන් කේන්ද්‍රගත වී තිබුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාටයි. එහෙත් වර්තමානයේ ප‍්‍රාදේශීය සභා, පළාත් සභා, ඒ සඳහා කි‍්‍රයාත්මකයි. ඒ නිසා තවදුරටත් ගමේ බෝක්කුව හදන්න පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අදාළ වන්නේ නැහැ. සැබැවින්ම ඔවුන් සිටිය යුත්තේ ජාතික මට්ටමේ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමටයි. දැන් ඇතැමුන්ට අවශ්‍ය වන්නේ රටේ දේශපාලනය පවුල් දෙකකට, වලව් දෙකකට සීමා කරන්නයි. ඔවුන්ට බැල මෙහෙවර කරන කිිහිප දෙනෙකුට සීමා කරන්නයි.

ජවිපෙට ජනතාව තුළ තිබෙන කැමැත්ත සැබෑ ලෙසම පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම අවශ්‍යයයි. එය හිතා මතා අඩුකිරීමට එරෙහිව සටන් කිරීමට ජවිපෙට අයිතියක් තිබෙනවා. 1982දී ජනමත විචාරණයක් මගින් ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවේ කාලය දික් කළා. ඒ, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට තේරී පත්වීම වැළැක්වීම සඳහා බව ප‍්‍රකට රහසක්. එය පසුකාලීනව රටට අවාසනාවන්ත අත්දැකීම් කැටුව ආවා. පාලකයින්ගේ පට
ු බලලෝභී වුවමනාකම් වෙනුවෙන් ගන්නා වූ මෙබඳු තීරණ දිගුකාලීනව දැවැන්ත විනාශයන් ගෙනෙනවා. මෙය හුදු ජවිපෙට පමණක් අදාල කරුණක් නෙවෙයි. වෙනත් ජාතිකත්වයන්ගේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙනුත් බරපතළ තත්වයක්.

ජවිපෙ ඇතුළු පක්‍ෂ ගණනාවක් ඊයේ අගමැතිවරයාටත් මෙම තත්වයේ ඇති බරපතළකම පෙන්වා දුන්නා. 20වන සංශෝධනය සහිත ගැසට් පත‍්‍රය ඉවත්කරගත යුතු බව අවධාරණය කළා. ජනාධිපතිවරයාත් මෙම තත්වය තේරුම් ගත යුතුයි. ජනවාරි 08 මැතිවරණය සමඟ කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවට මෙවැනි ජනතා විරෝධී කි‍්‍රයාමාර්ග ගැනීමට ඉඩ දියයුතු නැහැ. විශේෂයෙන්ම අලූත් මැතිවරණ ක‍්‍රමයක් අපේක්‍ෂා කළ ජනතාවගේ වුවමනාවන්ට මුවා වී තක්කඩි අරමුණු ඉටුකරගැනීමට කිසිසේත් ඉඩ දිය නොහැකියි.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

අවශ්‍ය නම් පවතින ක‍්‍රමය තුළම තිබෙන බරපතළ අඩුපාඩු සකස්කරගත හැකියි. මනාප ක‍්‍රමය ජවිපෙ කිසිදා ගැටලූවක් කරගත්තේ නැහැ. දූෂිතයින් අපේක්‍ෂකයින් ලෙස ඉදිරිපත් කළේ නැහැ. මෙම ප‍්‍රශ්න තිබෙන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ තුළමයි. අනෙක් අතට සමාජ ක‍්‍රමය තුළ තිබෙන ගැටලූ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම තුළින් විසඳිය හැකි යැයි අප සිතන්නේ නැහැ.

ඡන්ද පති‍්‍රකා දෙකක් ඉදිරිපත් කිරීමෙන්ද පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකියි. විශේෂයෙන් ආසන ක‍්‍රමය පදනම් කරගත් මැතිවරණ ව්‍යූහයම අවුලක්. ඒ නිසාම එය පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයකට ඡුන්ද පති‍්‍රකා දෙකක් ලබාදීම එම ගැටලූවට සම්පූර්ණ විසඳුමක් ලැබෙන්නේ නැහැ. එම නිසා අප යෝජනා කරන්නේ හැකි ඉක්මනින් සියලූ දෙනාටම සාධාරණ නියෝජනයක් ලැබෙන මැතිවරණ ක‍්‍රමයක් සකස් කර මැතිවරණයක් පැවැත්වීමට හෝ එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීමෙන් පසු නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.  

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්