19යේ සහායට කලාකරුවෝ පෙළගැසෙති

අද (27)  දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහාය දැක්විය යුතු බවට අද පෙරවරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කලාකරුවෝ අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා,  ප්‍රවීන නාට්‍යවේදී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා, ප්‍රවීන සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති මහතා, ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය, ප්‍රවීන චිත්‍ර ශිල්පී චාල්ස් දයානන්ද මහතා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ මහතා, ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතා, ප්‍රවීන චිත්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත් මහතා, ප්‍රවීන නාට්‍යවේදී ඊ. එම්. ඩී උපාලි මහතා සමාජවාදී කලා සංගමයේ ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා ඇතුළු කලාකරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියේය.

එහිදි අදහස් දැක්වූ කලාකරුවන් අවධාරණය කර සිටියේ මේ වනවිට රාජපක්ෂ පාලනය තුළ සිටී දූෂිතයින්, මැරයින්, එතනෝල්කරුවන් ඇතුළු පිරිස් විධායක ජනාධිපති ක්‍රමයේ ඇති ඒකාධිපති බලතල අහෝසි කරමින් රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගෙනඑනු ලබන 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වැලැක්වීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් හෙට (28) දිනයේදී එම තත්වය රටේ ජනතාවට දැක බලාගැනීමට හැකි වන බවත් යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය වැලැක්වීමට එම පිරිස් කටයුතු කරනු ලැබුවහොත් ජනාතා අධිකරණය ඉදිරියේ ඔවුන් හෙළිදරව් කිරීමට කලාකරුවන් පෙරමුණ ගන්නා බවය. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත කර රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීමටත් ජනතා අයිතිවාසිකම් දිනා ගැනීමත් වෙනුවෙන් කටයුතු කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවත් ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්