ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නොසිතූ ලෙස සියලු දෙනාම පන්දුවාර 45කදී ලකුණු 183කට දැවී ගියේය.
ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 1 දී බිඳ වැටුණු අතර නායක බ්රෙන්ඩම් මැකලම් ලකුණු නොලබා සිටියෙදී දැවී ගියේය. ඉන් පසු තරගයේ පාලනය සියතට ගැනීමට ඕස්ට්රේලියානු පන්දු යවන්නන් සමත් වූ අතර මුලු ලකුණු 39ක් වන විට ප්රබල පිතිකරුවන් තිදෙනෙකු හරවා යැවීමට සමත් විය. සිව්වන කඩුල්ලට ලකුණු 111ක සබඳතාවයක් ගොඩ නැගූ රෝස් ටේලර් (ලකුණු 40ක්) හා ග්රාන්ට් එලියට් (ලකුණු 83) සබඳතාවය ලකුණු 150දී බිඳවැටුණු අතර නවසීලන්ත අවසන් කඩුලු හත ලකුණු 33ක් තුළදී බිඳ දැමීමට ඕස්ට්රේලියානු පන්දු යවන්නන් සමත් විය.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ග්රාන් එලියට්ය. ඔහු පන්දු 82කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරකින් ලකුණු 83ක් ලබා ගත් අතර රෝස් ටේලර් පන්දු 72කට මුහුණ දී ලකුණු 40ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු ක්රීඩකයකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකි වූ අතර පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයකි.
පන්දු යැවීමේදී මිචෙල් ජොන්සන් හා ජේම්ස් ෆොල්ක්නර් කඩුලු තුන බැගින් දවා ගැනීමටත් මිචෙල් ස්ට්රක් කඩුලු දෙකක් හා ග්ලේන් මැක්ස්වෙල් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.












