ඌවෙන් පැමිණිලි 141ක් – CaFFE

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් CaFFE සංවිධානය වෙත මේ වනවිට සිදුවීම් 141ක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ මොණරාගල දිස්ත්‍රික්කයෙන් 104ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 30 ක් සහ වෙනත් සිදුවීම් 7ක් වශයෙන් බවත් එම සංවිධානයේ මාධ්‍ය ඒකකය නිකුත් කර ඇති නිවේදනයකින් සඳහන් වේ.


ඔවුන් නිකුත් කර ඇති තවත් නිවේදනයක මෙසේද සඳහන් වේ “අගෝස්තු 29 සහ 30 දෙ දින වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ වලින් මැතිවරණ කාර්යාල 9 කට පහරදීම පිළිබද වාර්තා වී තිබේ.  එජාපයේ 4ක්, ජවිපෙ හි 5ක් මෙලෙස ප්‍රහාරයට සහ ගිණි තැබීම්වලට ලක්වී ඇති අතර එයින් 3ක් මුඵමනින්ම විනාශ වී ඇත.

පසුගිය සතියේ දී පැය 72ක් තුළ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21ක් මොණරාගල දිස්ත්‍රික්කයේ විනාශ කොට තිබුණි. එයින් බහුතරය බිබිල ඡන්ද බල ප්‍රදේශයේ ස්ථාපනය කොට තිබුණි.

කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අංක තහඩු රහිත සහ ගරාජ් අංක සහිත වාහන මැතිවරණ ව්‍යාපාරයන් හි යෙදීම පිළිබද පැමිණි තුනක් ඉදිරිපත් කොට ඇත. නමුත් අගෝ. 29 සහ 30 දෙ දින ද මෙවැනි වාහන ස්ථාන හතරක (බදුල්ල — කැප්පෙටිපොල සහ බණ්ඩාරවෙල නගරය, මොණරාගල — වැල්ලවාය බුත්තල මාර්ගය සහ බිබිල මැදගම පාලම අසල) දී කැෆේ සංවිධානය විසින් නිරීක්ෂණය කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස් මාර්ග බාධක යෙදවීම සහ අතිරේක පොලිස් නිලධාරීන් පිටපලාත්වලින් මොරණරාගලට යොමු කිරීම පිළිබද උපදෙස් ලබා දී ඇත. එසේ නමුත් මෙම වාහන අත් අඩංගුවට ගැනීමක් හෝ පක්ෂ කාර්යාලවලට පහරදීම් හෝ අඩු නොවීම සැබවින්ම විමතිය දනවන කරුණකි. ලියාපදිංචි පක්ෂ කාර්යාලයන් හි පොලිස් මුර සංචාර සටහන් පොත් ස්ථාපනය කිරීමට උපදෙස් දී තිබූ නමුත් එය ද අගෝ. 31 උදෑසන වන තෙක්ම ක්‍රියාත්මක වී නැත.

අලුතෙන්ම ප්‍රහාරයට ලක් වූ පක්ෂ කාර්යාලය කිහිපයක් මෙසේය.

බුත්තල කුඩාඔය උණවටුන බෝධිය අසල පිහිටි විමලසේන මහතාගේ නිවසේ පිහිටා තිබු ජවිපෙ මැතිවරණ කාර්යාලයට අගෝ. 29 රාත්‍රී 12.30 ට පමණ පහරදී සැරසිළි කඩා ගිණි තබා ඇත.

බුත්තල හල්මිල්ලෑව, පුහුල්කොටුව ජවිපෙ කාර්යාලයට 29 රාත්‍රී 12 ට පමණ පහර දී, කටවුට් සහ කාර්යාලයට ගිණි තබා ඇත. මුඵ කාර්යාලයම දැවී අලුවී ඇත. ප්‍රහාරය එල්ල වනවිට කාර්යාලයේ කිසිවෙකු සිට නැත. මොණරාගල මදුරුකැටිය ජවිපෙ අපේක්ෂක පල්ලිගුරුගේ විජේසිරි ගේ කාර්යාලයට මේ වන විට අවස්ථා තුනක දී නාදුනන පිරිස් පහර දී ගිණි තැබීම් සිදු කොට ඇත. සෙවනගල හඹුරුගල සහ ඇල්ලෙකොන පිහිටි ජවිපෙ කාර්යාල ද එදිනම ප්‍රහාරයට ලක්වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක  රෝයි කාවින්ද මහතා ට අයිති ඇතිලිවැව හන්දියේ පිහිටි කාර්යාලය ද අගෝ. 29 දින ප්‍රහාරය ලක් වී ඇත. මෙය වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇති එජාපයේ විශාලතම කාර්යාලයයි. එයට අමතරව  මල්වත්තාවල හන්දිය, ආනපල්ලම හා කිතුල්කොටේ, හි පිහිටි එජාප කාර්යාලය ද අගෝ. 29 දින ප්‍රහාරයට ලක් වී ඇත.

මොණරාගල දිස්ත්‍රික් ස්වාධීන අපේක්ෂක ඩබ්.එම්. උදය කුමාර මහතාගේ ඔක්කම්පිටිය 17 හන්දියේ පිහිටි කාර්යාලයට යම් පිරිසක් විසින් කඩා විනාශ කොට ඇත.

විපක්ෂයේ මැතිවරණ කාර්යාල වෙත දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සහ ඒවා සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබදව කැෆේ සංවිධානයේ කණගාටුව පළ කරයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්